four-members-of-the-same-family-die-in-the-fire-at-senani-electricals-in-kaduwela-video

තම ජීවනෝපාය වූ ව්‍යාපාරික ස්ථානය පහළ මහලේත්, පවුලේ සෙවණ වූ නිවහන ඉහළ මහලේත් පවත්වාගෙන ගිය එකම පවුලක සියලුම සාමාජිකයන්ට අද (19) උදෑසන කඩුවෙල නගරයේදී සිය ජීවිත අහිමි විය.




කඩුවෙල නගරයේ පිහිටි Senani Electricals විදුලි භාණ්ඩ අලෙවිසැලක හටගත් ගින්නකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ සිව්දෙනෙකු බව පොලිසිය තහවුරු කර තිබේ. වාර්තා වන අන්දමට 'සේනානි' නමැති විදුලි උපකරණ අලෙවිසැලේ මෙම ගින්න නිසා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මෙම ඛේදවාචකයට ගොදුරු වූහ.

මියගිය දරුවන් දෙදෙනා අවුරුදු දෙකක් සහ අවුරුදු හයක් වයසැති පුතෙකු හා දියණියක බව සඳහන් වේ. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි පහළ මහලේ විද්‍යුත් උපකරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති අතර, මියගිය පවුලේ සාමාජිකයන් පදිංචිව සිට ඇත්තේ එහි ඉහළ මහලේය. ගින්න හටගන්නා අවස්ථාවේදී ඔවුන් ඉහළ මහලේ රැඳී සිට ඇති බව වාර්තා වේ.




හටගත් ගින්න පාලනය කර නිවා දැමීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබේ.

ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට මූලික වශයෙන් තොරතුරු වාර්තා වුවද, ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. එක් පවුලක සිව්දෙනෙකුගේම ජීවිත බිලිගත් මෙම ගින්න සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු අදාළ අංශ මේ වන විටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.

gossiplanka image