සඳ මත දීර්ඝකාලීනව මිනිස් ජීවිත පවත්වාගෙන යාම සඳහා අර්තාපල් වගාව තීරණාත්මක සාධකයක් විය හැකි බව නව විද්‍යාත්මක වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. දීර්ඝකාලීන චන්ද්‍ර ගවේෂණ සාර්ථක වීම සඳහා සඳ මතදීම ආහාර නිෂ්පාදනය කළ හැකි ආධාරක පද්ධති පැවතීම අත්‍යවශ්‍ය බව එම වාර්තාව අවධාරණය කරයි.
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක නිරත විද්‍යාඥයින් පිරිසක් කෘත්‍රිමව සකස් කළ චන්ද්‍ර පසෙහි අර්තාපල් වගා කිරීමට සමත් වීමෙන් අනතුරුව, සඳ මත ගොවිතැන් කිරීම සඳහා අර්තාපල් වඩාත් සුදුසුම බෝගයක් බවට නිගමනය කර ඇත.අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ශාක ජීවවිද්‍යාඥයෙකු වන අයිමරික් ගෝයර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මෙම අධ්‍යයනය 'npj Microgravity' විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබේ. අනෙකුත් බොහෝ බෝග හා සසඳන විට අර්තාපල් මගින් ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි කැලරි ප්‍රමාණයක් ලබා දෙන බව ගෝයර් පවසයි. අර්තාපල් ඉතා පෝෂ්‍යදායී බවත්, එහි කෙසෙල් ගෙඩියකට වඩා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් මෙන්ම විටමින් C සහ හොඳ ප්‍රෝටීන් අඩංගු බවත් පෙන්වා දෙන ඔහු, ඒවා ආහාරයට ගැනීමෙන් කුස පිරුණු ස්වභාවය දීර්ඝ වේලාවක් පවතින බවද සඳහන් කරයි.
අනාගතයේදී සඳ මත හරිතාගාර ඉදිකිරීමේ අපේක්ෂාව පෙරදැරිව මෙම පරීක්ෂණය සිදු කර ඇත. ආහාරයට ගැනීමට සුදුසු, සාර්ථක අර්තාපල් අස්වැන්නක් වගා කිරීමට විද්‍යාඥයින් සමත්ව සිටින අතර, නිෂ්පාදනය කරන ආහාර ඇත්ත වශයෙන්ම ආහාරයට ගත හැකි මට්ටමේ පවතින බව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.
මෙම පරීක්ෂණ සඳහා පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ සඳෙහි දූවිලි සහ පසෙහි ලක්ෂණ අනුකරණය කරමින් පෘථිවියේ ද්‍රව්‍ය යොදා ඉංජිනේරුමය වශයෙන් නිපදවූ කෘත්‍රිම චන්ද්‍ර පසකි. ඊට විවිධ මට්ටම්වලින් පණු කොම්පෝස්ට් මිශ්‍ර කර තිබේ. සාමාන්‍යයෙන් 'Eisenia fetida' ලෙස හඳුන්වන රතු පැහැති කොම්පෝස්ට් පණුවන් විසින් ඉවතලන ආහාර සහ කාබනික අපද්‍රව්‍ය ජීර්ණය කිරීමෙන් සකස් කරන මෙම කාබනික පස් සාරකය පරීක්ෂණය සඳහා උපයෝගී කරගෙන ඇත. සඳ මත ඇති දූවිලි සහ පාෂාණ ස්තරයේ කිසිදු නයිට්රජන් ප්‍රමාණයක් අඩංගු නොවන බැවින් අතිරේක පෝෂක එක් නොකර කිසිදු බෝගයක් එහි වැඩෙන්නේ නැති බව ගෝයර් පැහැදිලි කරයි.
අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ රතු පැහැති පොත්තකින් සහ සුදු පැහැති මදයකින් යුත්, ඉක්මනින් පීදෙන 'මොඩොක්' නමැති අර්තාපල් ප්‍රභේදයයි. කුඩා බඳුන්වල වගා කළ මෙම අර්තාපල් ග්‍රෑම් දහයකට වඩා අඩු බරකින් යුත් අස්වැන්නක් ලබා දී තිබේ. කෙසේ වෙතත් පර්යේෂකයන් තවමත් මෙම අර්තාපල්වල රස බලා නොමැති බව ගෝයර් පිළිගත්තේය. නෙළාගත් අස්වැන්න රසායනාගාර විශ්ලේෂණ කටයුතු සඳහා යොදාගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵල පෘථිවියේ කෘෂිකර්මාන්තයටද ප්‍රයෝජනවත් විය හැකි බව අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු මෙන්ම ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ජීවවිද්‍යාඥයෙකු වන ඩේවිඩ් හැන්ඩි විශ්වාස කරයි. මේ හරහා සොයාගන්නා තාක්ෂණයන්, නගර මධ්‍යයේ පිහිටි ප්‍රදේශ සහ කාන්තාර ආශ්රිත ප්‍රජාවන් වැනි කෘෂිකාර්මික නිෂ්පාදනය අඩු මෙන්ම පිටතින් ගෙන එන ආහාර මත යැපෙන කලාපවල භාවිත කළ හැකි බව ඔහු පවසයි.
මේ අතර අමෙරිකාව සහ චීනය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ දීර්ඝකාලීන කඳවුරු පිහිටුවීමේ සැලසුම් මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබේ.