man-arrested-with-two-tiger-teeth

ශ්‍රී ලංකාවේ වනජීවී නීතිය යටතේ දැඩි ලෙස ආරක්ෂිත සත්ත්ව විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියාගේ දත් දෙකක් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ අරමුණින් ළඟ තබාගෙන සිටි බවට සැකපිට පුද්ගලයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.




පසුගිය සිකුරාදා (27) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අනුරාධපුර කුඩාපලදිකුලම හන්දිය ප්‍රදේශයේදීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය වෙතින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, රිටිගල සහ අනුරාධපුර වනජීවී නිලධාරීන් එක්ව සැකකරු නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇත.




වැටලීමේදී වනජීවී නිලධාරීන් භාරයට ගත් කොටි දත් දෙක සහ අත්අඩංගුවට ගත් සැකකරු නොවැම්බර් 28 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.