
රූපලාවණ්‍ය සැත්කමක් අතරතුර රෝගාතුර වී මියගිය කාන්තාවකට, භාවිත කිරීමට උගන්වා තිබූ ප්‍රමාණය මෙන් හත් ගුණයක ෆිලර් ප්‍රමාණයක් එන්නත් කර ඇති බව එංගලන්තයේ ග්ලොස්ටර් හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ පැවැත්වෙන විභාගයකදී අනාවරණය වී තිබේ.
වොට්න්-අන්ඩර්-එජ් ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක වන ඇලිස් වෙබ් මෙලෙස මියගොස් ඇත්තේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදීය. "ලිප් කින්ග්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ජෝර්ඩන් පාර්ක් නමැත්තා විසින් ග්ලොස්ටර් ප්‍රදේශයේ නිවසකට අනුබද්ධ රූපලාවණ්‍යාගාරයකදී ඇයට "බ්‍රසීලියන් බට් ලිෆ්ට්" (BBL) නමැති රූපලාවණ්‍ය ප්‍රතිකාරය සිදු කර තිබේ. සිරුරේ පශ්චාත් භාගය ලස්සණ කිරීම පිණිස සිදුකරන එම ප්‍රතිකාරය අතරතුර රෝගාතුර වූ ඇලිස් වෙබ් ග්ලොස්ටර්ෂයර් රෝයල් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුදා අලුයම ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ප්‍රතිකාරය සඳහා ජෝර්ඩන් පාර්ක් විසින් එන්නත් කරන ලද ජෙල් වැනි හයුලූරොනික් ඇසිඩ් (hyaluronic acid) ෆිලර් ද්‍රව්‍යයේ කොටස් ඇලිස් වෙබ්ගේ හදවත, පෙනහළු, මොළය, වකුගඩු සහ තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ තිබී හමු වූ බව ජූරි සභාව හමුවේ කරුණු අනාවරණය විය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ස්ටීවන් ලෙඩ්බෙටර් අධිකරණයට ප්‍රකාශ කළේ, ප්‍රතිකාරය සිදු කරන අතරතුර රුධිර නාලයකට හානි වීමෙන් මෙම ද්‍රව්‍ය ඇයගේ ශරීර අභ්‍යන්තරයට ඇතුළු වී තිබිය හැකි බවයි.
අධිකරණය හමුවේ හඬා වැටෙමින් සාක්ෂි දුන් ඇලිස් වෙබ්ගේ නෑනා වන මෝගන් ටවුන්සෙන්ඩ් පැවසුවේ, මෙම ප්‍රතිකාරය සඳහා වෙබ් පවුම් 2,300ක මුදලක් ගෙවා තිබූ බවයි. ප්‍රතිකාරය සිදු කරන අතරතුර වෙබ් තමන් වෙත ඡායාරූපයක් එවා තිබූ බවත්, එහිදී භාවිත කරමින් තිබූ මිලිලීටර් 1,400ක ෆිලර් ප්‍රමාණය සහ විශාල වශයෙන් යොදාගත් දේශීය නිර්වින්දන ඖෂධ ප්‍රමාණය දැක තමන් දැඩි ලෙස කම්පනයට පත් වූ බවත් ඇය සඳහන් කළාය. එම අවස්ථාවේදී "දෙවියනේ, මේක මරණීය වේදනාවක්" යනුවෙන් වෙබ් තමන්ට පණිවිඩයක් එවා තිබූ බවත්, අනතුරුව "වේදනාකාරීයි" යනුවෙන් පමණක් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් ටවුන්සෙන්ඩ් වැඩිදුරටත් කියා සිටියාය.
පාර්ක් විසින් වෙබ්ට මෙම ප්‍රතිකාරය සිදු කරන ආකාරය දැක්වෙන කෙටි වීඩියෝ දර්ශනයක් ද මෙහිදී ජූරි සභිකයන්ට ප්‍රදර්ශනය කරන ලදී. ඔහු සිනාසෙමින් ඇයට එන්නත් ලබා දෙන අයුරුත්, ඇයට "බොහොම හොඳයි!" යනුවෙන් පවසන අයුරුත් එම වීඩියෝවේ සටහන්ව තිබිණි.
වෙබ් ඇද වැටුණු අවස්ථාවේදී ඇයගේ සහයට පැමිණි පරිපූරක වෛද්‍ය නිලධාරිනී ඇලනා කිංග්ස්ටන් සාක්ෂි දෙමින් පැවසුවේ, සිදුව ඇති දේ පිළිබඳව පාර්ක් කිසිදු තැකීමක් නොකරන ස්වභාවයකින් පසුවීම සහ එහි හදිසිභාවය තේරුම් නොගැනීම පිළිබඳව තමන් පුදුමයට පත් වූ බවයි. වෙබ්ගේ උපන් දිනය හෝ හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගත යුතු පුද්ගලයන්ගේ තොරතුරු වැනි මූලික පෞද්ගලික විස්තර පවා පාර්ක් සතුව නොතිබූ බව ඇය සඳහන් කළාය. "ඔහු රෝහලට නොපැමිණීම මට අමුත්තක් ලෙස දැනුණා" යනුවෙන් ද කිංග්ස්ටන් අධිකරණය හමුවේ පැවසුවාය.
මේ සම්බන්ධයෙන් ග්ලොස්ටර්ෂයර් පොලිසිය වෙනුවෙන් විමර්ශන මෙහෙයවූ පොලිස් පරීක්ෂක ඇඩම් ස්ටේසි අධිකරණයට දන්වා සිටියේ, එක්සත් රාජධානිය තුළ මෙම බ්‍රසීලියන් බට් ලිෆ්ට් ප්‍රතිකාරය සඳහා විධිමත් පුහුණුවක් නොමැති බවත්, එහි ශිල්පීය ක්‍රම එක් ශිල්පියෙකුගෙන් තවත් ශිල්පියෙකුට පැවරෙන බවත්ය. ජෝර්ඩන් පාර්ක්ට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොතිබූ නමුත්, ඔහු සමඟ කටයුතු කළ වෛද්‍යවරයෙකු එක් නිතඹ කොටසකට ෆිලර් මිලිලීටර් 100 බැගින් භාවිත කරන ලෙස උපදෙස් දී තිබූ බව ස්ටේසි අනාවරණය කළේය.
ආරක්ෂිතභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් ග්‍රේටර් මැන්චෙස්ටර් හි සැල්ෆර්ඩ් සහ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් හි ඩඩ්ලි යන ප්‍රදේශ දෙකෙහි මෙම ප්‍රතිකාරය සිදු කිරීම පාර්ක්ට තහනම් කර තිබුණද, වෙනත් ප්‍රදේශවල එය දිගටම කරගෙන යාමට ඔහුට හැකියාව ලැබී තිබූ බව පොලිස් පරීක්ෂකවරයා පැවසීය. "මෙය නියාමනය නොවූ කර්මාන්තයක්" බව අධිකරණයට පැවසූ ස්ටේසි, බරපතළ නොසැලකිලිමත්කම නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් යටතේ පාර්ක්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට පොලිසියට දැඩි විශ්වාසයක් තිබූ බව ද සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ක්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන් සූදානම් වෙමින් සිටියදී, මේ වසරේ මුල් භාගයේදී ඔහු මියගොස් ඇත. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ස්ටේසි පැවසීය. පාර්ක්ගෙන් ප්‍රතිකාර ලබාගෙන රෝගාතුර වූ වෙනත් සේවාදායකයන් හමු වී දැයි විමසූ විට පොලිස් පරීක්ෂකවරයා පිළිතුරු දෙමින් පැවසුවේ, "අහිතකර අත්දැකීම්වලට මුහුණ දුන් බොහෝ දෙනෙක් සිටියා" යනුවෙනි. මෙම හදිසි මරණ පරීක්ෂණය තවදුරටත් පැවැත්වේ.