us-democratic-party-announces-woman-to-run-for-president-in-2028

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පෙර නොවූ විරූ වාමාංශික පිරිසක් ජයග්‍රහණය කර සතියක් ගතවීමත් සමඟ, නිව්යෝර්ක් කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවීමේ අරමුණින් පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් සූම් සාකච්ඡාවකට එක්ව තිබේ. ප්‍රගතිශීලීන් සහ වෘත්තීය සමිති සංවිධායකයන්ගෙන් සැදුම්ලත් 'රෙඩි ෆෝ ඒ.ඕ.සී.' (Ready for AOC) නම් නව සංවිධානය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබූ අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය සැමරීමට කාලය වැය කිරීම වෙනුවට ඔවුහු ඉදිරි සැලසුම් කෙරෙහි අවධානය යොමු කළහ.

"රට පුරාම ජනතාව මීට වඩා බෙහෙවින් වෙනස් සහ යහපත් අනාගතයක් වෙනුවෙන් සූදානම්. අපි කවරදාටත් වඩා ඒ සඳහා සූදානම්," යැයි එම සංවිධානයේ සංවිධායිකාවක වන ජෙනවීව් රෑන්ඩ් එහිදී ප්‍රකාශ කළාය.




ඉකුත් සඳුදා 'රෙඩි ෆෝ ඒ.ඕ.සී.' ව්‍යාපාරය ආරම්භ කර පැය 24ක් ඇතුළත අමෙරිකාවේ ප්‍රාන්ත 50ම නියෝජනය වන පරිදි පුද්ගලයන් 10,000කට අධික පිරිසක් ඇයට සහාය පළ කිරීමේ ප්‍රතිඥාවකට අත්සන් තබා ඇති අතර, ඇය ජයග්‍රහණය කරවීමේ බිම් මට්ටමේ මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහා සංවිධානාත්මක සාකච්ඡාවලට 4,000කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී තිබේ. පසුගිය වසරේ නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානිගේ මැතිවරණ ව්‍යාපාරයේ ද කටයුතු කළ මෙම කණ්ඩායමේ සංවිධායක රවී සහායි පැවසුවේ ඔවුන්ගේ එකම අරමුණ ඇයව තරගයට ඉදිරිපත් කරවීම බවයි. මෙය ඇයගේ කණ්ඩායමට සම්බන්ධ නැති ස්වාධීන ස්වේච්ඡා මෙහෙයුමක් බව අවධාරණය කළ ඔහු, "මෙය පැහැදිලිවම ඉතා පෞද්ගලික තීරණයක්. අපි එයට ගරු කරන අතරම, එවැනි ඉදිරිපත් වීමක් පිටුපස සැබෑ හා පුළුල් සහයෝගයක් පවතින බව පෙන්වා දීමට අවශ්‍යයි," යනුවෙන් කියා සිටියේය.

මීට වසර අටකට පෙර සාම්ප්‍රදායික අපේක්ෂකයකු අනපේක්ෂිත ලෙස පරාජය කරමින් අමෙරිකානු වාමාංශික දේශපාලනයේ නව පුනරුදයකට මඟ පෑදූ මිලේනියල් පරපුරේ කොංග්‍රස් සභිකාවක වන ඔකාසියෝ-කෝටෙස්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. ඒ පිළිබඳව පෞද්ගලිකව තීරණයක් ගැනීමට තමන් යම් කාලයක් ගන්නා බව ඇය මෑතකදී සඳහන් කර තිබිණි. එමෙන්ම සෙනෙට් සභාවේ සුළුතර නායක චක් ෂූමර්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තර මූලික වටයේ තරගයකට ඉදිරිපත් වීම පිළිබඳව ද ඇය සලකා බලමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් ඇය වෙනුවෙන් බිම් මට්ටමේ මෙහෙයුමක් ගොඩනැඟීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති අතර, මධ්‍යවාර මැතිවරණයෙන් ජයගත් වාමාංශික අපේක්ෂකයන් රැසකට සහාය දුන් අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සංවිධානයේ (DSA) නිව්යෝර්ක් නගර ශාඛාව ඉකුත් සෙනසුරාදා පැවැති සිය ද්විවාර්ෂික සමුළුවේදී ඇයව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දිරිගැන්වීමේ යෝජනාවක් සම්මත කරගත්තේය. එම යෝජනාව ඡන්ද 291ට 123ක් ලෙස සම්මත වූ අතර, ඉහළ යන ෆැසිස්ට්වාදය සහ ඓතිහාසික මට්ටමේ අසමානතාව හමුවේ 2028 ජනාධිපතිවරණය අමෙරිකානු දේශපාලනයේ සහ ලෝක ඉතිහාසයේ දිශානතියට තීරණාත්මක බලපෑමක් කරනු ඇති බව එහි සඳහන් විය.




ඉහළ යන ජීවන වියදම, අවසානයක් නොපෙනෙන යුද්ධ සහ සුළු ධනවත් පැලැන්තියක් හා සෙසු ජනතාව අතර දිනෙන් දින පුළුල් වන පරතරය මධ්‍යයේ අමෙරිකානු වාමාංශික දේශපාලනයට නව පණක් ලැබී තිබේ. 2016 වසරේ බර්නි සෑන්ඩර්ස්ගේ ඓතිහාසික ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සිටම ඉදිරියට පැමිණි සැමට පොදු සෞඛ්‍ය සේවාවක්, දැරිය හැකි මිලට නිවාස, නොමිලේ ළමා සුරැකුම් සේවා සහ දේශපාලනයෙන් මුදල් බලය ඉවත් කිරීම යන ඉල්ලීම් අද වන විට කවරදාටත් වඩා ප්‍රධාන ධාරාවේ මාතෘකා බවට පත්ව ඇත. මේ වන විට ලබා ඇති මැතිවරණ ජයග්‍රහණ හමුවේ, ලබන ජනවාරි මාසය වන විට පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන්, කම්කරු සහ ප්‍රජා සංවිධායකයන් ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් හයදෙනෙක් කොංග්‍රස් මණ්ඩලයේ සිටින ඔකාසියෝ-කෝටෙස් සහ රෂීඩා ට්ලයිබ් සමඟ එක්වීමට නියමිතය. ඊට අමතරව නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නගරාධිපතිවරුන් සිව්දෙනකු අමෙරිකානු නගර පාලනය කිරීම සඳහා මම්දානි සමඟ එක්වන අතර, රට පුරා ප්‍රාන්ත හා ප්‍රාදේශීය තනතුරුවල සමාජවාදීන් 100කට අධික පිරිසක් කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් වාමාංශික කඳවුරේ සියලු දෙනාම ඔකාසියෝ-කෝටෙස්ගේ තීරණය එනතුරු බලා නොසිටිති. මධ්‍යවාර මැතිවරණයෙන් දින දෙකකට පසුව හිටපු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කොංග්‍රස් සභික ජමාල් බෝමන් සහ ප්‍රගතිශීලී ක්‍රියාකාරිනී නොමිකි කොන්ස්ට් එක්ව කැලිෆෝනියා කොංග්‍රස් සභික රෝ ඛන්නා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවීමේ කමිටුවක් පිහිටුවූහ. අනෙක් අතට, සෙසු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අපේක්ෂකයන්ට ලබාදුන් සහයෝගය හරහා වාමාංශයේ තීරණාත්මක චරිතයක් බවට පත්ව සිටින නිව්යෝර්ක් නගරාධිපති මම්දානි ද කම්කරු හිතවාදී වාමාංශික නායකයකු වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. එක්සත් මෝටර් රථ කම්කරු සංගමයේ (UAW) සභාපති ෂෝන් ෆේන් සහ ගුවන් සේවක සංගමයේ (CWA) සභාපතිනි සාරා නෙල්සන් එලෙස ඔහු හමුවූ නායකයන් අතර වෙති.



එසේ වුවද ඔකාසියෝ-කෝටෙස් සතු ජනප්‍රියත්වය, අරමුදල් රැස්කිරීමේ හැකියාව මෙන්ම වොෂින්ටනය තුළ සහ කම්කරු පන්තික ව්‍යාපාර සමඟ ඇති ගැඹුරු සබඳතා වාමාංශික කඳවුරේ වෙනත් කිසිදු ශක්‍ය අපේක්ෂකයකු සතුව නොමැති බව දේශපාලන ක්‍රියාකාරීහු පෙන්වා දෙති. "2018 වසරේ ඇය ලැබූ ජයග්‍රහණය අප මීට පෙර නොදුටු ආකාරයෙන් ජාතික දේශපාලනය සොලවා දැමුවා. එවැනි ප්‍රතිරූපයක් ඇති වෙනත් කිසිවකු සැබැවින්ම නැහැ," යැයි රවී සහායි පැවසීය. 2018දී පළමු වරට කොංග්‍රසයට තරග කරන විට ඇය කියා සිටියේ තමා තරග කරන්නේ "වාමාංශයෙන්" නොව "පහළ ස්තරයෙන්" බවයි. මෙම මාසයේ ප්‍රගතිශීලී මෙන්ම මධ්‍යස්ථ ඩිමොක්‍රටික් අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇයගේ ආධාරකරුවන් යළිත් ඉස්මතු කරමින් සිටින්නේ එම බිම් මට්ටමේ ජනතාවාදී පණිවුඩයයි. දෘෂ්ටිවාදයට වඩා සැමට සෞඛ්‍ය රක්ෂණය, හරිත නව ගිවිසුම (Green New Deal) සහ අවම වැටුප ඉහළ දැමීම වැනි ප්‍රතිපත්ති කෙරෙහි ඔවුහු වැඩි අවධානයක් යොමු කරති. එහෙත් ප්‍රධාන ධාරාවේ ජනතාවට ගැළපෙන පරිදි සිය ස්ථාවරයන් හෝ වාග් මාලාව වෙනස් කිරීමට එතරම් නැඹුරුවක් නොදක්වන, වාමාංශයේ විශාලතම ජාතික සංවිධානය වන ඩී.එස්.ඒ. සංවිධානය සමඟ එම ප්‍රවේශය ගැටීමට ඉඩ තිබේ.

වසර ගණනාවක් පුරා ප්‍රාදේශීය මැතිවරණ සහ බිම් මට්ටමේ සංවිධාන කටයුතුවලට ප්‍රමුඛත්වය දුන් සමාජවාදීහු, සමාජවාදී ජනාධිපතිවරයකු බිහිකිරීම සඳහා ඇති හොඳම අවස්ථාව දැන් එළඹ ඇති බවත්, මෙම අවස්ථාව මඟහැරුණහොත් නැවත නොලැබිය හැකි බවත් පවසති. 2028 වන විට තරගයට පිවිසෙන ඕනෑම අයකුට මුහුණ දීමට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ දේශපාලන පසුබිමකටය. මේ වන විට ඩී.එස්.ඒ. සංවිධානය සතුව රට පුරා සාමාජික ගාස්තු ගෙවන සාමාජිකයන් 130,000කට අධික පිරිසක් සහ ප්‍රාදේශීය ශාඛා 200කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර, සමාජවාදය කෙරෙහි ධනාත්මකව බලන අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව ද වර්ධනය වෙමින් පවතී. "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය අමෙරිකානු දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ කොටසක් බවට පත්වෙමින් තිබෙනවා. දැන් අපට මීට වඩා බෙහෙවින් විශාල හා නිර්භීත දෙයක් කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා," යැයි රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ මෙන්ම ඩී.එස්.ඒ. සංවිධානයේ සාමාජිකයකු ද වන එරික් බ්ලෑන්ක් මැතිවරණ රාත්‍රියේදී ප්‍රකාශ කළේය.

මීට පෙර සමාජවාදී අපේක්ෂකයන් අමෙරිකානු ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වුවද ඔවුන් සැමවිටම තරග කළේ තෙවැනි පාර්ශ්වයක් ලෙසිනි. ජනාධිපතිවරණයකදී සමාජවාදී අපේක්ෂකයකු ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වන්නේ 1912 වසරේදී අමෙරිකානු සමාජවාදී පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, කම්කරු සංවිධායකයකු සහ යුද විරෝධී ක්‍රියාකාරිකයකු වූ යුජීන් ඩෙබ්ස් ලබාගත් සියයට 6ක ඡන්ද ප්‍රතිශතයයි. එම වසරේදී සාමාජිකයන් 120,000ක උපරිමයකට ළඟා වූ සමාජවාදී ව්‍යාපාරය, පසුව ඇති වූ කොමියුනිස්ට් විරෝධී භීතිකාවන් (Red Scares), සීතල යුද්ධය සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් අමෙරිකානු දේශපාලනයේ අයිනටම තල්ලු වී ගියේය. එම 120,000 සාමාජික වාර්තාව ඩී.එස්.ඒ. සංවිධානය විසින් පසුකරනු ලැබුවේ පසුගිය ගිම්හානයේදීය. අක්‍රීයව පැවැති සමාජවාදී ව්‍යාපාරයට යළි පණ ලැබුණේ 2016 වසරේ බර්නි සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉතා ආසන්නයටම පැමිණීමත් සමඟය. ඔකාසියෝ-කෝටෙස් සහ මම්දානි වැනි නවකයන් රැසක් දේශපාලනයට පිවිසීමට එය උත්ප්‍රේරකයක් වූ අතර, "අපට දිනාගැනීමට ලෝකයක් ඇත" යන තේමාව යටතේ ඩී.එස්.ඒ. සාමාජිකත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

කෙසේ වෙතත් සංවිධානය වර්ධනය වීමත් සමඟ ප්‍රායෝගිකත්වය සහ දෘෂ්ටිවාදාත්මක දැඩිභාවය අතර මෙන්ම ඊශ්‍රායලය, පොලිස් සේවාව සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අභ්‍යන්තර මතභේද ද මතුව තිබේ. දේශසීමා අහෝසි කිරීම හෝ අමෙරිකානු සෙනෙට් සභාව අහෝසි කිරීම වැනි සංවිධානයේ අතිශය රැඩිකල් ස්ථාවරයන්ගෙන් ඇතැම් කැපවූ සාමාජිකයන් පවා අවස්ථා කිහිපයකදී ඈත් වී ඇත. ඔකාසියෝ-කෝටෙස් වටා කණ්ඩායමක් එක්රොක් වෙමින් සිටියද, ඇයට එරෙහි අභ්‍යන්තර විරෝධතා ද තවමත් ප්‍රබලව පවතී. විශේෂයෙන්ම ඊශ්‍රායලය සම්බන්ධ කාරණාවලදී ඇය සංවිධානයේ වටිනාකම් පාවා දී ඇතැයි එක් කණ්ඩායමක් චෝදනා කරයි. ඩී.එස්.ඒ. ජාතික නායකත්වය ද ඇය කෙරෙහි දැඩි විවේචනාත්මක ස්ථාවරයක සිටින අතර, ඇයගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ස්ථාවරයක් ගෙන නොමැත. ඊශ්‍රායලයේ අයන් ඩෝම් (Iron Dome) මිසයිල ආරක්ෂණ පද්ධතියට අරමුදල් සැපයීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සහ යුදෙව් විරෝධය පිළිබඳ මතභේදාත්මක අර්ථකථනයකට සහාය දක්වන්නන් ඇතුළත් සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් ජාතික ඩී.එස්.ඒ. සංවිධානය 2024 වසරේදී ඇයට ලබාදුන් නිල සහාය ද ඉවත් කරගත්තේය.

මීට අමතරව ඩිමොක්‍රටික් පක්ෂයේ සෙසු කොටස් සමාජවාදී අපේක්ෂකයකු පිළිගැනීමට සූදානම් ද යන්න ද තවමත් පැහැදිලි නැත. 2028 මැතිවරණයට ඩී.එස්.ඒ. සංවිධානයෙන් එල්ල විය හැකි බලපෑම පිළිබඳව බියට පත්ව සිටින මධ්‍යස්ථ ඩිමොක්‍රටික් අරමුදල් සපයන්නන් ඊට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට දැනටමත් ප්‍රතිඥා දී තිබේ. පසුගිය මධ්‍යවාර මැතිවරණය වාමාංශිකයන්ට ඓතිහාසික ජයග්‍රහණයක් වුවද, ඔවුන්ගේ බොහෝ ජයග්‍රහණ වාර්තා වූයේ ස්ථිර ලෙසම ඩිමොක්‍රටික් පක්ෂයට බලය ඇති ප්‍රාන්තවලින් වන අතර, සෙසු ප්‍රදේශවලදී ඉදිරියට පැමිණියේ මධ්‍යස්ථ ඩිමොක්‍රටික් අපේක්ෂකයන්ය. සාර්ථක ජනාධිපති අපේක්ෂකයකුට අවම වශයෙන් තීරණාත්මක දෝලනය වන ප්‍රාන්තවල (swing states) හෝ පුළුල් ජනතා ආකර්ෂණයක් දිනාගැනීමට හැකි විය යුතුය. එවැනි විශාල ජන කොටසක් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති වාමාංශික කඳවුරේ එකම අපේක්ෂිකාව ඔකාසියෝ-කෝටෙස් බව පෙන්වා දෙන රවී සහායි, "වෙනත් කිසිදු අපේක්ෂකයකු සතුව නොමැති දැක්මක්, අත්දැකීම් සහ ව්‍යාපාරය සමඟ ඇති සබඳතා ඇය සතුව තිබෙනවා," යැයි පැවසීය.

us-democratic-party-announces-woman-to-run-for-president-in-2028

us-democratic-party-announces-woman-to-run-for-president-in-2028



us-democratic-party-announces-woman-to-run-for-president-in-2028

us-democratic-party-announces-woman-to-run-for-president-in-2028