court-expresses-surprise-for-the-third-time-over-delay-in-kapila-chandrasenas-death-reports

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල තීරණාත්මක සාක්ෂියක් වන රසායනාගාර වාර්තා ලබාදීම ප්‍රමාද වීම ගැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිය දැඩි අවධානය යොමු කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා යොමු කිරීම ප්‍රමාද වීමට හේතු පැහැදිලි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රජයේ විශ්ලේෂකවරයාට නියෝග කළේය.

මින් ඉහත පොලිස් විමර්ශනවල මන්දගාමී ස්වභාවය දැඩි දෝෂදර්ශනයට ලක්කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඒ පිළිබඳව සිය අප්‍රසාදය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට පසුගිය ඔක්තෝබර් 14 වනදාත් සොයා ගන්නා ලද හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද කිරීම ගැන පසුගිය ජුලි 8 වනදාත් මේ ආකාරයටම දෝෂදර්ශනයට ලක්විය. නමුත් කිසියම් බාහිර බලවේගයක් නිසාදෝ මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත්කිරීම පමාවීම සිදුවන බව පෙන්නුම් කරයි.




මීට සමගාමීව, කපිල චන්ද්‍රසේන මහතාගේ සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත. සැක සහිත තත්ත්වයන් යටතේ සිදුවී ඇතැයි සැලකෙන මෙම මරණයට අදාළ බොහෝ වාර්තා මේ වන විටත් අධිකරණයට ලැබී තිබුණද, මියගොස් සිටියදී ඔහුගේ දේහය හමුවූ ස්ථානයෙන් සොයාගත් විශේෂිත ඖෂධ වර්ග හතරකට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.

මරණයට හේතුව සෙවීමේ භෞතික සාක්ෂි ගවේෂණයට අමතරව, විමර්ශකයින් මේ වන විට මියගිය අයගේ ඩිජිටල් දත්ත ඔස්සේ ද පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කපිල චන්ද්‍රසේන මහතා භාවිත කළ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පිහිටි සමාගමක් ද ඇතුළුව ආයතන දෙකක් වෙත ඉල්ලීම් යොමු කර ඇති බව විමර්ශකයෝ අධිකරණයට පෙන්වා දුන්හ. එම ජංගම දුරකථනයේ ගබඩා කර ඇති දත්ත ඉදිරි මාස තුනක කාලයක් සඳහා සුරක්ෂිතව තබා ගන්නා බව අදාළ සමාගම විසින් විද්‍යුත් තැපෑල මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට මේ වන විටත් දැනුම් දී ඇත.




ඩිජිටල් විමර්ශන කටයුතු තවදුරටත් පහසු කිරීමේ අරමුණින්, අදාළ දුරකථනයේ ඇති ඉලෙක්ට්‍රොනික සිම්පත හෙවත් ‘eSIM’ එක සාමාන්‍ය සිම් කාඩ්පතක් බවට පරිවර්තනය කර දෙන ලෙස අදාළ විදුලි සංදේශ සේවා සපයන්නා වෙත නියෝගයක් නිකුත් කිරීමට ද අධිකරණය මෙහිදී විමර්ශකයින්ට අවසර ලබා දුන්නේය.

මීට පෙර අධිකරණ නියෝග මත අදාළ පාර්ශ්ව වෙතින් සිදු කළ ඉල්ලීම්වලට මේ වන විට ප්‍රතිචාර ලැබී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබීය. මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත තවදුරටත් විභාග කිරීම සඳහා දෙසැම්බර් මස 2 වැනිදා යළි කැඳවීමට නියමිතය.