manula-chamal-perera-arrested-for-misappropriating-youth-services-council-funds

ජාතික තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ පනස් එකක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබූ එහි ඉහළ පෙළේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුට සිය රාජකාරි ස්ථානයට ඇතුළුවීම පවා තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ඇප නියෝග නිකුත් කළේය.




මෙලෙස නීතිය හමුවට කැඳවනු ලැබුවේ ජාතික තරුණ සේවා සභාවේ පාලන හා මානව සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අරුමකුට්ටි මනුල චමල් පෙරේරා නැමැත්තාය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (04) දහවල් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය මුදල් අයුතු ලෙස පරිහරණය කිරීමේ බරපතළ චෝදනාවක් මතය.

මෙම සිද්ධියට පදනම් වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ග්‍රාමයේ පිහිටි ඉඩමක් සහ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සිදුකර ඇති ගනුදෙනුවකි. අදාළ දේපළ රජයේ ඉඩමක් බවට අඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබා ගැනීමට සැකකාර අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබේ. ඉන් නොනැවතී ඒ වෙනුවෙන් තුන්වන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක් අයුතු ලෙස ගෙවා ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් පැවසූහ.




ඊට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් තරුණ සේවා සභාවේ අරමුදල්වලින් ගෙවීමට සැලැස්වීම ඔහුට එරෙහිව ඇති අනෙක් චෝදනාවයි. ඒ අනුව රජයට අහිමි කර ඇති මුළු මුදල රුපියල් මිලියන 5.1 කි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එසේම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගත්තේය.



මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කරුණ වූයේ, ඇප මත මුදා හැරියද ඉදිරි නඩු දිනය දක්වා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම සැකකරුට සපුරා තහනම් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයයි. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකරු මේ වන විටත් තරුණ සේවා සභාවේ පාලන හා මානව සම්පත් කළමනාකරණ අංශයේ සේවය කරන බවයි.

සිද්ධියට අදාළ නඩුව ජනවාරි 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.