සිය බිරිඳගේ සොහොයුරා හමුවීමේ අරමුණින් නිවසකට ගිය ගමනක් උණුසුම් බහින්බස් වීමකින් අවසන් වී, සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහර දීමේ සිද්ධියක් දක්වා දුරදිග යෑම හේතුවෙන් චීන ජාතිකයෙකු මාලබේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හිටපු මන්ත්‍රීවරියට පහර දුන් බවට එල්ල වූ චෝදනාව මත සැකකාර චීන ජාතිකයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් ඇය කළ පැමිණිල්ලට අනුව මාලබේ පොලීසිය වහාම ක්‍රියාත්මක වීමත් සමඟය.
චීන ජාතිකයාගේ පහරදීමට ලක්ව තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමන්ව රෝහල්ගත කරන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කරමින් ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
මේ සිද්ධිය පිටුපස පවතින පෞද්ගලික සබඳතා පිළිබඳව මූලික පොලිස් විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහ වී සිටින අයෙකු වන අතර, ඔහු හිටපු මන්ත්‍රීවරියගේ නිවසට පැමිණ ඇත්තේ සිය බිරිඳගේ සොහොයුරා හමුවීම සඳහාය.
සැකකරුගේ මස්සිනා වන එම පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ ඉතා සමීප මිතුරෙකු බවත්, ඔහු දීර්ඝ කාලයක සිට ඇයගේ නිවසේම නවාතැන් ගෙන සිටින බවත් වාර්තා වේ.
මෙවන් පසුබිමක් තුළ නිවසේදී හිටපු මන්ත්‍රීවරිය සහ සැකකාර චීන ජාතිකයා අතර හටගත් උණුසුම් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.