බාහිර ලෝකයට ඔවුන් පෙනුණේ සාමාන්‍ය පවුලක් ලෙසිනි. වසර විසිදෙකක පමණ ප්‍රේමණීය සහ විවාහ ජීවිතයක් ගත කළ, දරුවන් තිදෙනෙකුගේ මවක සහ පියෙකු වූ ඔවුන්ගේ නිවස තුළ, වසර දහතුනකට වැඩි කාලයක් තිස්සේ බිහිසුණු රහසක් සැඟවී තිබෙනු ඇතැයි කිසිවෙකුත් සිතුවේ නැත.
එක්සත් රාජධානියේ ස්වින්ඩන් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ජොඈන් යංග් පවා තම සැමියා අතින් තමාට සිදුවූයේ කුමක්දැයි සම්පූර්ණයෙන්ම දැනගත්තේ 2023 වසරේදී පොලිස් රහස් පරීක්ෂකයන් ඇගේ නිවසේ දොරට තට්ටු කළ දිනයේදීය.තමන් වඩාත්ම විශ්වාස කළ සැමියා විසින්ම මත්ද්‍රව්‍ය ලබා දී සිහිසුන් කර, අන්තර්ජාලය හරහා ආගන්තුක පිරිමින් ගෙන්වා වසර 13 කට අධික කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නීති ඉතිහාසයේ සුවිශේෂී තීන්දුවක් 2026 නොවැම්බර් 19 වැනිදා ප්‍රකාශයට පත් විය. ඒ, වින්චෙස්ටර් ක්‍රවුන් අධිකරණයේ ජූරි සභාව විසින් එම අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් සිව්දෙනෙකු වරදකරුවන් කිරීමත් සමඟය. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සංවිධානාත්මකව සිදු කළ මෙවැනි ලිංගික අපයෝජන නඩුවකදී විත්තිකරුවන් කිහිප දෙනෙකු ජූරි සභාවක් විසින් වරදකරුවන් කළ එක්සත් රාජධානියේ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වේ.
මෙම සමස්ත අපරාධ ජාලයේ මහ මොළකරු වූයේ ජොඈන්ගේ එවකට සැමියා වූ, දැන් 50 හැවිරිදි වියේ පසුවන පිලිප් යංග් ය. 2007 සිට 2010 දක්වා ස්වින්ඩන් බොරෝ කවුන්සිලයේ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, 2010 සිට 2023 දක්වා පමණ කාලය තුළ මෙම අපරාධ සැලසුම්සහගතව සිදු කර තිබේ. දූෂණ චෝදනා 11 ක්, සිහිසුන් කිරීමේ හෝ අඩපණ කිරීමේ අරමුණින් ද්‍රව්‍ය ලබා දීමේ චෝදනා 11 ක්, අනවසරයෙන් රහසිගතව දර්ශන නැරඹීමේ හෝ පටිගත කිරීමේ චෝදනා 14 ක්, ලිංගික බලහත්කාරකම් පිළිබඳ චෝදනා 7 ක්, ලිංගික අතවර චෝදනා 4 ක් සහ අසභ්‍ය ප්රකාශනයක් පළ කිරීමේ එක් චෝදනාවක් ඇතුළු වැරදි 56 කට පිලිප් යංග් මීට පෙරම අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණි.
තම බිරිඳ සමඟ ගත කළ වසර විස්සක පමණ විවාහ ජීවිතය ඇය විස්තර කළේ සාමාන්‍ය සහ එක් අයෙකුට පමණක් සීමා වූ සබඳතාවක් ලෙසිනි. එහෙත් පිලිප් රහසිගතව ක්‍රියාත්මක කළේ ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයකි. ඔහු ඇගේ පාන වර්ගවලට ප්‍රධාන වශයෙන් සොල්පිඩෙම් නමැති නිදි පෙති වර්ගය මිශ්‍ර කර ඇති අතර, ඇගේ හිසකෙස් පරීක්ෂාවන්හිදී කෙටමින් නමැති මත්ද්‍රව්‍යයේ අංශු ද හමු වී තිබේ. ඉන් අනතුරුව ඇගේ දෑස් බැඳ, අත්පා ගැටගසා, බොහෝ විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සිහිසුන් තත්ත්වයට පත් කර තිබේ.
ඉන් නොනැවතුණු ඔහු "ලන්ඩන් මන්කි" යන අන්වර්ථ නාමයෙන් ක්රේග්ස්ලිස්ට්, ග්‍රයින්ඩර්, ෆැබ් ස්වින්ගර්ස් සහ ඒ හා සමාන වෙබ් අඩවි හරහා ආගන්තුක පිරිමින්ට ආරාධනා කර ඇත. තම බිරිඳ ගැටගසා සිහිසුන්ව සිටින ඡායාරූප එම දැන්වීම් සඳහා යොදා ගනිමින්, මෙය දෙදෙනාගේම කැමැත්තෙන් සිදු කරන ලිංගික ක්‍රියාකාරකමක් ලෙස ඔහු අන් අයට හුවා දක්වා තිබේ. පහසුව තකා අවට ප්‍රදේශවල පදිංචි ඕනෑම වයසක හෝ ජාතියක පිරිමින් ඔහු ඒ සඳහා තෝරාගෙන ඇති බව හෙළි විය. අවස්ථා 200 කදී පමණ ලබාගත් අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ 480 ක් පමණ පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර, එම දර්ශන අවම වශයෙන් 500 වතාවක්වත් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වාර්තා වේ.
මෙම අපරාධ බොහොමයක් පිළිබඳව ජොඈන්ට තිබුණේ ඉතා අල්ප හෝ කැබලි වූ මතකයක් පමණි. එහෙත් එක් අවස්ථාවක දෑස් බැඳ ගැටගසා සිටියදී අවදි වූ ඇයට, පිලිප් කිසියම් අයෙකුට පහත් වන ලෙස පවසන හඬ ඇසී තිබේ. ඉන් කම්පනයට පත් ඇය පසුව නාන කාමරයට ගොස් දොර වසාගෙන සිට ඇත. කික් නමැති යෙදුමේ ගිණුමකට උඩුගත කර තිබූ අන්තවාදී අසභ්‍ය ඡායාරූප පිළිබඳව 2023 වසරේදී ලැබුණු ඔත්තුවක් මත පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මෙම මුළු කතාවම අනාවරණය විය. පසුගිය වසරේදී ඇය පිලිප්ගෙන් දික්කසාද වූවාය.
නඩු විභාගයේදී විත්තිකරුවන් කියා සිටියේ ඇගේ සැමියා පැවසූ දේ මත ඇය ඊට කැමැත්ත පළ කර ඇති බව හෝ ඇය නින්දේ සිටින ලෙස රඟපාන බව තමන් විශ්වාස කළ බවයි. එහෙත් තෙවන පාර්ශ්වයකට තවත් අයෙකු වෙනුවෙන් කැමැත්ත ලබා දිය නොහැකි බවත්, මෙම පිරිමින් ඇගේ කැමැත්ත පිළිබඳව සැබවින්ම සොයා බැලීමට කිසිදු උත්සාහයක් නොගත් බවත් පැමිණිලි පාර්ශ්වය තර්ක කළේය. ඒ අනුව 2016 සිට 2023 දක්වා විවිධ අවස්ථාවලදී මෙම අපරාධවලට සම්බන්ධ වූ සිව්දෙනෙකු ජූරි සභාව විසින් වරදකරුවන් කරනු ලැබීය.
2016 ජුනි මාසයේ සිදුවූ සිදුවීමකදී ඇය "එපා" යැයි පවසන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව තිබූ අතර, එම සිදුවීමට සම්බන්ධ ස්වින්ඩන් හි පදිංචි 32 හැවිරිදි කොනර් සැන්ඩර්සන්-ඩොයිල් ලිංගික බලහත්කාරකම සහ ලිංගික අතවර චෝදනාවලට වරදකරු විය. 2016 ජූලි මාසයේ සිදුවීමකට සම්බන්ධ, සුවිශේෂී පච්ච කෙටීම් මගින් හඳුනාගත් ස්වින්ඩන් හි ටූත්හිල් පදිංචි 62 හැවිරිදි රිචඩ් විල්කින්ස් දූෂණ සහ ලිංගික බලහත්කාරකම් චෝදනාවලට වරදකරු විය. 2017 පෙබරවාරි මාසයේ සිදුවූ දූෂණ චෝදනාවට බෙඩ්ෆර්ඩ්ෂයර් හි ෂාන්බෲක් පදිංචි 48 හැවිරිදි නෝමන් මැක්සෝනි වරදකරු වූ අතර, වීඩියෝ දර්ශන නොතිබුණද ඩිජිටල් පණිවිඩ සහ ජොඈන්ගේ මතකය මත 2023 පෙබරවාරි මාසයේ සිදුවූ ලිංගික අතවර චෝදනාවට ස්වින්ඩන් හි 38 හැවිරිදි මොහොමඩ් හසන් වරදකරු විය.
මීට අමතරව මෙම සිදුවීම්වලට සම්බන්ධ පස්වන පුද්ගලයා වන සමර්සෙට් හි ස්ට්‍රීට් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඩීන් හැමිල්ටන් දූෂණ, ලිංගික බලහත්කාරකම් සහ ලිංගික අතවර චෝදනාවලට මීට පෙර වරද පිළිගෙන තිබේ. එමෙන්ම 2022 වසරේ දර්ශනවලට සම්බන්ධ තවත් හඳුනා නොගත් සැකකරුවෙකු සොයා විල්ට්ෂයර් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි. ඔහු විශාල සිරුරක් සහ රෝම සහිත, හිස පිටුපස කැළලක් මෙන්ම පපුවේ සුවිශේෂී පච්චයක් ඇති අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම නඩුව බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ප්‍රංශයේ ජිසෙල් පෙලිකෝගේ සිදුවීමට සමාන වීම හේතුවෙනි. ඇගේ සැමියා වූ ඩොමිනික් පෙලිකෝ ඇයට මත්ද්‍රව්‍ය ලබා දී පිරිමින් දුසිම් ගණනකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් 2024 වසරේදී වරදකරු විය. මෙම බ්‍රිතාන්‍ය විමර්ශනයේදී විෂවේදය ඇතුළු ප්‍රංශ විශේෂඥ දැනුම ද උපයෝගී කරගෙන තිබේ.
මෙවැනි අපරාධවලට ගොදුරු වන පුද්ගලයන්ට බොහෝ විට සිදුවූ දේ පිළිබඳ මතකයක් නොමැති වීම හෝ එම රෝග ලක්ෂණ මත්පැන් පානය නිසා ඇතිවූවක් යැයි සිතීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වීම අඩු මට්ටමක පැවතිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙවැනි සංවිධානාත්මක අපරාධ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත්, තමා දුටු දරුණුතම අපරාධ අතරට මෙය ඇතුළත් වන බවත් ජාතික නීතිපති සේවා ප්‍රධානී ෂිවෝන් බ්ලේක් ප්‍රකාශ කළාය. සැකකරුවන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින්, සැමියාගේ වචනය මත පමණක් විශ්වාසය තැබීමට මෙම පිරිමින්ට නොහැකි බව ඔප්පු කළ බව විශේෂඥ අභිචෝදක ජේම්ස් ෆොස්ටර් සඳහන් කළේය. අන්තර්ජාලය හරහා මෙවැනි අපයෝජන සඳහා පහසුකම් සැලසීම පිළිබඳව එක්සත් රාජධානිය තුළ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, පොලිසිය සහ ජාතික අපරාධ ඒජන්සිය ඊට අදාළ සංසද සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අවධානය යොමු කර තිබේ.
නඩු තීන්දුවෙන් පසු තමන්ට හිමි ජීවිතාන්තය දක්වා අනන්‍යතාව රහසිගතව තබා ගැනීමේ අයිතිය අත්හළ ජොඈන් යංග්, නොවැම්බර් 19 වැනිදා වින්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍ය හමුවේ පෙනී සිටියාය. විනිසුරු පුෂ්පින්දර් සයිනි ඇගේ "විස්මිත ධෛර්යය" අගය කළ අතර, නීතිපති සේවය ඇයව හැඳින්වූයේ "ආදර්ශයක්" ලෙසිනි. මෙම අපරාධවලට සම්බන්ධ වූ තවත් අයෙකු පිලිප්ව හඳුන්වා තිබුණේ "යක්ෂයෙකු" ලෙසිනි.
"මම ලෝකයේ වඩාත්ම විශ්වාස කළ පුද්ගලයා ඉතාම බිහිසුණු ආකාරයෙන් මාව පාවා දුන්නා. එය මගේ සහ මගේ දරුවන්ගේ ජීවිතවලට විනාශකාරී බලපෑමක් ඇති කළා," යැයි ජොඈන් සිය ප්රකාශයේදී සඳහන් කළාය. මෙම අපයෝජනය නිසා තමා දැන සිටි තම ජීවිතය අහිමි වූ බවත්, තමන්ට කිසිදා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවක් නොදැනෙන බවත්, නිවස තුළින් පවා ආරක්ෂාවක් නොලැබුණු බවත් ඇය වචනවලට පෙරළිය නොහැකි වේදනාවකින් ජීවත් වන බවත් ඇය පැවසුවාය.
"කැමැත්ත ලැබිය යුත්තේ අදාළ පුද්ගලයාගෙන්මයි. වෙනත් කිසිවෙකුට ඔබ වෙනුවෙන් එය ලබා දීමට හැකියාවක් නොතිබිය යුතුයි," යැයි පැවසූ ඇය, කැමැත්ත පිළිබඳ නීතිය ප්‍රමුඛතාවක් ලෙස සලකා සමාලෝචනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියාය. අපයෝජන වැළැක්වීම පිළිබඳව අප අවංකවම කටයුතු කරන්නේ නම් නිහඬතාව විකල්පයක් නොවන බව ඇය අවධාරණය කළාය. පොලිසියට, නීතිපති සේවයට, පවුලේ අයට, තම සහකරුට සහ මිතුරන්ට ස්තූති කළ ඇය, මෙවැනි පීඩාවන්ට ලක්ව සිටින අනෙක් අයට ද පණිවිඩයක් දුන්නාය. "ඔබ තනි වී නැහැ. ඔබට සිදුවන දේ ඔබේ වරදක් නොවෙයි."
මෙම තීන්දුව තම පවුලට සහනයක් මෙන්ම අනෙක් කාන්තාවන්ගේ හඬටද විශ්වාසය තබනු ඇති බවට සංඥාවක් බව ජොඈන් කියා සිටියාය. පසුගිය වසර දෙකහමාරක කාලය තුළ තම පවුල මානසික සෞඛ්‍ය ගැටලු සමඟ අරගල කළද, තම මව "ඇදහිය නොහැකි තරම් ශක්තිමත්" වූ බවත් ඇය ගැන තමා ආඩම්බර වන බවත් ඇගේ 21 හැවිරිදි දියණිය වන ඇලෙක්ස් පසුව සටහනක් තබමින් සඳහන් කර තිබුණි.
පිලිප් යංග් ඇතුළු වරදකරුවන් සියලු දෙනාටම දීර්ඝ සිරදඬුවම් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඔවුන්ට දඬුවම් නියම කිරීම 2026 දෙසැම්බර් 21 සහ 22 දිනවල වින්චෙස්ටර් ක්‍රවුන් අධිකරණයේදී සිදු කිරීමට නියමිතය. අපයෝජකයන්ගේ තීරණවලට තම අනන්‍යතාව තීරණය කිරීමට ඉඩ නොදෙන බවට අධිෂ්ඨාන කරගෙන සිටින ජොඈන් යංග්, තම අත්දැකීම් අන් අයට උපකාර කිරීම සඳහා යොදා ගනිමින් දරුවන් සමඟ සිය ජීවිතය යළි ගොඩනඟා ගැනීමට සූදානම් වෙයි.
![]() |
| ජොඈන් සහ සැකකාර සැමියා |
![]() |
| ජොඈන් නීතීඥ මඩුල්ල සමග |
![]() |
| සැකකාර අපයෝජකයින් |


