රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී ඖෂධයකින් අපේක්ෂා කරන්නේ ඉක්මන් සුවයයි. එහෙත් එම ඖෂධ ලබා දෙන්නේ කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති පුද්ගලයෙකු නම්, රෝගියාට අත්වන ඉරණම කුමක්ද?
ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් පමණ මේ වන විට ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා අනාවරණය කරයි.විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන ආකාරයට, මෙලෙස ඖෂධ නිකුත් කරන පිරිස අතර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති, හුදෙක් ඖෂධ අලෙවිසැල්වල සේවය කිරීමෙන් ලබාගත් දැනුම පමණක් පදනම් කරගෙන රෝගීන්ට ඖෂධ ලබා දෙන පුද්ගලයින්ද සිටී. මෙම තත්ත්වයේ වඩාත් බරපතළම පැතිකඩ වන්නේ ඔවුන් අතින් රෝගීන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ඖෂධ නිකුත් වීමයි.
වෛද්‍ය සුදුසුකම් නොමැති පුද්ගලයින් විසින් මෙලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා දීම බරපතළ ගැටලුවක් බව අවධාරණය කරන රුවන් ෆර්ඩිනැන්ඩු මහතා, ඒ පිළිබඳව සමාජය තුළ පුළුල් සංවාදයක් ඇති විය යුතු බවද කියා සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඒවා අනවශ්‍ය ලෙස භාවිත කිරීම හේතුවෙන් විෂබීජවල ඖෂධ ප්‍රතිරෝධීතාව ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ඇතැම් රෝගීන් ප්‍රතිජීවක අවශ්‍ය නොවන අවස්ථාවලදී පවා ඒවා භාවිත කිරීමට පෙළඹී සිටින අතර, මෙරට තුළ එම අනවශ්‍ය භාවිතය ප්‍රධාන ආකාර කිහිපයකින් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරයා විස්තර කරයි. පළමුවැන්න නම්, රෝගීන් විසින් නිවෙස්වලදීම තම රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමයි. දෙවැන්න, වෛද්‍යවරුන් වෙත ගොස් තමන්ට ප්‍රතිජීවක ලබා දෙන ලෙස රෝගීන් විසින්ම ඉල්ලා සිටීමයි.
මෙම ගැටලුවට ඇතැම් වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන්ද බලපෑමක් එල්ල වන බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවලදී ජනතාව ප්‍රතිජීවක ඉල්ලනු ඇතැයි සිතා සහ ඒවා ලබා දුන් විට රෝගය ඉක්මනින් අඩු වනු ඇතැයි සිතා වෛද්‍යවරුන්ද නිතරම ප්‍රතිජීවක භාවිත කරන බව ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරයි.
වෙනත් රටවල තත්ත්වය මීට වඩා බෙහෙවින් වෙනස් බව පෙන්වා දෙන ඔහු, එම රටවල ප්‍රතිජීවක භාවිතය මෙරට මෙන් සිදු කළ නොහැකි බවත්, වෛද්‍යවරයෙකුගෙන් වුවද ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් බවත් කියා සිටී.
වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් හතළිස් දහසක් පමණ ඖෂධ නිකුත් කරන, ප්‍රතිජීවක භාවිතය පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති මෙම පසුබිම තුළ අනාගතයේදී මුහුණ දීමට සිදුවන අවදානම විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා ඉතා සරලව එහෙත් තියුණු ලෙස පැහැදිලි කළේය.
"මෙහෙම ගියොත් එහෙම වෙන්නේ ඉදිරියේදී අපි සිංහලෙන් කියනවා නම් බෙහෙත් අහන්නේ නැති වෙනවා."