තවත් දින කිහිපයක් ගත වූයේ නම්, දුර්වලව පැවති සිය හෘදය සමඟ ජීවිතය රැකගැනීමට ඔහුට කිසිදු ඉඩක් නොතිබිණි. කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දාහතර හැවිරිදි පිරිමි දරුවාගේ ජීවිතය රැඳී තිබුණේ කාලය සමඟ කළ තියුණු සටනක් මතය.
පෙරේදා (26) දිනයේදී ඒ සටන ජය ගනිමින්, ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ සිදු කළ තුන්වන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කොළඹ ජාතික රෝහලේදී අති සාර්ථකව නිමාවට පත් විය.මෙම දරුවාට නව ජීවිතයක් උදා වූයේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයකුගේ හෘදය පරිත්‍යාග කිරීමට ඔහුගේ දෙමව්පියන් සහ ඥාතීන් කැමැත්ත පළ කිරීමත් සමඟය. එහෙත් හෘදයක් ලබාගත් මොහොතේ සිට ඉතාම කෙටි කාලයක් තුළ එය අනෙක් රෝගියාට බද්ධ කළ යුතු වීම මෙම මෙහෙයුමේ තීරණාත්මකම අභියෝගය විය.
ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත එම හෘදය කඩිනමින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත යොමු කර සූදානම් කර තිබිණි. නමුත් පෙරේදා සවස් කාලයේ ගම්පහ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය සියලු සැලසුම් වෙනස් කළේය. කාලගුණය හරස් වීම නිසා හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර, ගුවන් මගින් හෘදය රැගෙන ඒම දුෂ්කර විය.
එම තීරණාත්මක මොහොතේ වෛද්‍ය මණ්ඩලය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධ කරගනිමින්, ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හෘදය කඩිනමින් රැගෙන ඒම සඳහා සහාය ඉල්ලා ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා, රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. සේනාධිර මහතාගේ ද සහාය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් දියත් කළේය. ගම්පහ සිට කොළඹ දක්වා ප්‍රධාන මාර්ගය කෙටි වේලාවකට වසා දමා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙමින්, ගිලන් රථයකින් එම හෘදය නියමිත කාලවේලාව තුළ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට පොලිසිය කටයුතු කර දී තිබිණි.
නියමිත වේලාවට රෝහල වෙත ළඟා වූ හෘදය 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේදී ආරම්භ වූයේ පෙරේදා සවස 5.00ට පමණය. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදු කළ මෙම ශල්‍යකර්මය මධ්‍යම රාත්‍රි 12.00 පමණ වනතුරු පුරා පැය 07කට අධික කාලයක් පැවති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ශල්‍යකර්මයට නායකත්වය දුන් විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා මෙරට හෘද බද්ධ කිරීමේ ඉතිහාසයට මීට පෙරද දායක වූ වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ සිදු කළ පළමුවැනි ඓතිහාසික හෘද බද්ධ කිරීමේ සැත්කම මීට වසර කිහිපයකට පෙර මහනුවර රෝහලේදී සිදු කෙරුණේ ද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසිනි. එවරද හදිසි අනතුරකින් මොළය මියගිය තරුණයකුගේ හදවතක් කාන්තාවකට බද්ධ කෙරිණි.
අයහපත් කාලගුණය, කාලයේ පීඩනය සහ පැය හතකට අධික ශල්‍යකර්මයක් අවසානයේ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම සැත්කම අති සාර්ථක බවයි. ජීවිතය රැකගැනීමට දින කිහිපයක් පමණක් ඉතිරිව සිටි 14 හැවිරිදි දරුවා මේ වන විට ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.