පසුගිය සතිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නීතිමය වශයෙන් කාර්යබහුල මෙන්ම තීරණාත්මක සතියක් විය. 27 වැනිදා බස් ගනුදෙනුව සහ 28 වැනිදා ක්‍රිෂ් (Krrish) ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට දෙවරක්ම අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.
නීතිඥවරයෙකු ද වන නාමල් රාජපක්ෂ, සිරමැදිරියක් තුළ කාලය ගත කරනවාට වඩා මෙලෙස අධිකරණ භූමිය වටා ගැවසීම කෙතරම් හොඳදැයි ඇතැමුන් අතර කතාබහක් ද නිර්මාණය වී තිබිණි.මෙම නඩු කටයුතුවලදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥවරුන් වන ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ අලි සබ්රි යන ප්‍රවීණ නීතිඥවරුන් දෙපළයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බෝධරගම මහතා හමුවේ කැඳවූ මෙම නඩුව, පසුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවීමට තීරණය කෙරිණි. කෙසේ වෙතත්, විත්තිය කොතරම් කරුණු දක්වා ඇප ඉල්ලා සිටියද, ඊට තමන්ට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. මෙතරම් කරුණු පෙන්වා දී තිබියදීත් ඇප ලබා නොදීම නරක තත්ත්වයක් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය කලකිරීම පළ කරමින් සඳහන් කළේය.
28 වැනිදා ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු විභාගය අතරතුර අල්ලස් කොමිසමේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂිකා තනුජා බණ්ඩාර සහ නීතිඥ අලි සබ්රි අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. ඊට පෙර දින අලි සබ්රි මහතා කළ දේශනයකදී, "අද මේ නඩුවේ පීඩකයන් හැටියට ඉන්න කට්ටිය හෙට දවසේදී පීඩිතයන් බවට පත්විය හැකියි" යනුවෙන් කළ ප්‍රකාශයක් උපුටා දැක්වූ තනුජා බණ්ඩාර, "අලි සබ්රි මේ ආකාරයට තර්ජනය කරන්නේ කාටදැයි" විමසා සිටියාය. සැකකරුවන් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් තමන්ට කරදරයක් නොවනු ඇතැයි යන විශ්වාසය මත සාක්ෂිකරුවන් දැන් සාක්ෂි දීමට ඉදිරිපත් වෙමින් සිටින බවත්, පෙරදී ඔවුන් එසේ සාක්ෂි නොදුන්නේ බිය නිසා බවත් ඇය පැවසුවාය. එබැවින් සැකකරුවන් නිදහස් කිරීම අතිශය භයානක බව අල්ලස් කොමිසම වෙනුවෙන් ඇය අධිකරණයට පෙන්වා දුන්නාය.
මේ සියලු අධිකරණ කටයුතුවලින් අනතුරුව එදින සවස් යාමයේ සාගර කාරියවසම්, ඩී.වී. චානක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දේශපාලන සගයන් නාමල් රාජපක්ෂ බැලීම සඳහා පැමිණියහ. "අද නම් අලි සබ්රි කියන්න තිබ්බ ඔක්කොම දේවල් ටික කිව්වා" යැයි සාගර කාරියවසම් එහිදී පැවසීය. ඊට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් දැක්වූයේ මෙලෙසිනි: "ජනාධිපතිතුමා නම් හැම වෙලාවෙම කියන්නේ නීතිය ඉදිරියේ හැමෝම එක සමානයි කියලා. හැබැයි ඉතින් එයාගේ යාළුවා අර 'අඟුරු කුමාර' අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත්තෙත් නැහැ, මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනාවෙත් නැහැ, මිනිහා චූන් එකෙන් ඉන්නවා."
එහෙත් ඒ මොහොතේ නාමල් රාජපක්ෂට වඩාත් අවශ්‍ය වී තිබුණේ සිය මවගේ ශල්‍යකර්මයේ අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගැනීමටයි. ඊට පිළිතුරු දුන් ඩී.වී. චානක, "අපි ගියා බලන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. අද දෙවෙනි සත්කමත් කරනවා" යැයි පැවසීය.
අනතුරුව කතාබහ පක්ෂයේ ඉදිරි කටයුතු දෙසට යොමු විය. ගම් මට්ටමින් ශාඛා සමිති පිහිටුවීමේදී ජනතාවගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙන බවත්, දැනටමත් ශාඛා සමිති 90කට අධික සංඛ්‍යාවක් සහ අනුබද්ධ සංවිධාන 150කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා අවසන් බවත් සාගර කාරියවසම් එහිදී අනාවරණය කළේය. විපක්ෂය මර්දනය කිරීම සඳහා ගෙන එන අණපනත් සම්බන්ධයෙන් ගමේ ජනතාව දැනුවත් කිරීමට ගමින් ගමට රැස්වීම් මාලාවක් පවත්වන ලෙස නාමල් රාජපක්ෂ එහිදී ඔවුන්ට උපදෙස් දුන්නේය.