if-cases-are-to-be-filed-the-oic-must-go-to-court---order-from-the-igp

අධිකරණවල විභාග වන නඩු මෙහෙයවීම සඳහා මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පෞද්ගලිකවම සහභාගි විය යුතු බවත්, එසේ සහභාගි නොවන නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවත් අවධාරණය කරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 23 දා විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇත.




අධිකරණවල විභාග වන නඩු සඳහා මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පෞද්ගලිකවම සහභාගි වී එම නඩු මෙහෙයවිය යුතු බවට 2007 නොවැම්බර් මස පස්වැනිදා ‘පොලිස්පති චක්‍රලේඛයක්’ නිකුත් කර තිබෙන බවද පොලිස්පතිවරයා නිකුත් කළ මෙම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. එහෙත් එම චක්‍රලේඛය මගින් ලබා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් බොහෝ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් නිසි තැකීමක් නොකරන බවට තමාට වාර්තා වී ඇති බවද පොලිස්පතිවරයා එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ තත්ත්වය යටතේ අධිකරණයන්හි විභාග වන නඩු සඳහා මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පෞද්ගලිකවම සහභාගි වී එම නඩු මෙහෙයවන්නේද යන්න පිළිබඳව කොට්ඨාස භාර සහ දිස්ත්‍රික් භාර උසස් පොලිස් නිලධාරීන් විසින් අධීක්ෂණය කළ යුතු බව විශේෂ පොලිස් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ. ඊට අමතරව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් මේ හා සම්බන්ධ සවිස්තර වාර්තා ගෙන්වාගෙන ඒවා සතියකට වරක් පොලිස්පතිවරයා වෙත එවිය යුතු බවටද එහි සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.




දිවයින තුළ නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ ප්‍රධානතම ආයතනය වශයෙන් අපරාධ වැළැක්වීම මෙන්ම සිදුකරන ලද අපරාධ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තුළින් යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරී ඇති මූලික වගකීමක් බවද පොලිස්පතිවරයා මෙම පණිවිඩය මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකරනු ලබන විමර්ශනයන්හි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් අධිකරණයේදී නිසි දඬුවමකට ලක් කිරීම සහ ඒ තුළින් අගතියට පත් පාර්ශ්වයට යුක්තිය ඉටුකිරීම බවද පොලිස්පතිවරයා නිකුත් කර ඇති විශේෂ පොලිස් පණිවිඩය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.