ඩිස්නි (Disney) සහ ඇඩෝබි (Adobe) සමාගම් විසින් නව කෘත්‍රිම බුද්ධි (AI) ආකෘති සම-සංවර්ධනය කිරීම සඳහා බහු-වාර්ෂික ගිවිසුමකට එළඹ තිබේ. ඩිස්නි සමාගමට අයත් තේමා උද්‍යාන, චිත්රාගාර සහ ක්‍රීඩා මාධ්‍ය ව්‍යාපාර පුරා මෙම AI තාක්ෂණික මෙවලම් ව්‍යාප්ත කිරීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම නව පියවර හරහා ගෝලීය තේමා උද්‍යාන, නිවාඩු නිකේතන සහ මගී නෞකා සේවාවන් අයත් වන 'ඩිස්නි එක්ස්පීරියන්සස්' (Disney Experiences) අංශයේ ව්‍යාපෘති සංවර්ධන කාලසීමාවන් වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ. තවද, වෝල්ට් ඩිස්නි චිත්‍රාගාරයේ නවෝත්පාදන මධ්‍යස්ථානය වන StudioLAB හි සංකල්ප ගවේෂණ කටයුතු සඳහා ද මෙම තාක්ෂණය භාවිත වනු ඇත. මීට අමතරව, ඊඑස්පීඑන් (ESPN) ක්‍රීඩා නාලිකාවේ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිකිරීමට සහ එහි පැරණි වැඩසටහන් එකතුව වඩාත් පුළුල් ලෙස ප්‍රේක්ෂකයින් වෙත සමීප කිරීම සඳහා ද ඇඩෝබි සමාගම ඩිස්නි සමඟ එක්ව කටයුතු කිරීමට නියමිතය.
ආයතනික මට්ටමින් අභිරුචි AI ආකෘති නිර්මාණය කිරීමට පහසුකම් සපයන ඇඩෝබි හි 'ෆයර්ෆ්ලයි ෆවුන්ඩ්‍රි' (Firefly Foundry) තාක්ෂණය ඔස්සේ මෙම සමාගම් දෙක එක්ව කටයුතු කරනු ඇත. එහිදී ඩිස්නි සමාගමේ බුද්ධිමය දේපළ යොදාගනිමින් පුහුණු කරන ලද, නිෂ්පාදන මට්ටමේ ප්‍රතිදානයන් ලබාදිය හැකි උත්පාදක AI (gen-AI) ආකෘති නිර්මාණය කෙරේ. මෙම ආකෘති ඩිස්නි සමාගමට පමණක් සීමා වූ පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ඒවා වනු ඇත. මේ වන විටත්, ඩිස්නි සමාගමේ නිර්මාණ සහ පර්යේෂණ අංශය වන 'වෝල්ට් ඩිස්නි ඉමැජිනියරින්' (Walt Disney Imagineering) විසින් අතින් අඳින ලද සටහන්, සම්පූර්ණ සංකල්පීය චිත්‍ර (concept art) බවට පත් කළ හැකි කෘත්‍රිම බුද්ධි ආකෘතියක් භාවිතයට ගෙන තිබේ.
"අපගේ ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් වසර ගණනාවක සංවර්ධන කාලයක් ගත වෙනවා," යැයි ඩිස්නි සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන, තාක්ෂණික සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කයිල් ලොක්ලින් පැවසීය. "ඇඩෝබි ෆවුන්ඩ්‍රි හරහා මාස ගණනාවක් ගතවෙන නිර්මාණාත්මක ක්‍රියාවලියක් පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා කෙටි කිරීමට අපට හැකි වී තිබෙනවා."
මෙම මෙවලම් මගින් වේගවත් ලෙස නිර්මාණ වෙනස්කම් ගණනාවක් අත්හදා බැලීමට හැකි බවත්, ඒ හරහා අදාළ ව්‍යාපෘති ඉදිකිරීම් අදියරට එළඹුණු පසු සිදු කිරීමට සිදුවන අධික පිරිවැයක් සහිත වෙනස්කම් අවම කරගැනීමට හැකිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම AI මෙවලම් හඳුන්වාදීමේ අරමුණ නිර්මාණාත්මක කටයුතු වේගවත් කිරීම පමණක් බවත්, ඉන් කිසිදු ආකාරයකින් සේවකයින්ගේ රැකියා ප්‍රතිස්ථාපනය කිරීමක් අපේක්ෂා නොකරන බවත් ලොක්ලින් අවධාරණය කළේය.
මේ අතර, ඩිස්නි සමාගම විසින් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට සලකා බලමින් සිටින බවත්, වාර්ෂික පිරිවැයෙන් 20% ක කප්පාදුවක් ඉලක්ක කරන ලෙස කළමනාකරුවන්ට දැනුම් දී ඇති බවත් මේ මස මුලදී බ්ලූම්බර්ග් (Bloomberg) ප්රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබුණි.