චීන ජනාධිපති ෂී ජින්පිං විසින් චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ක්‍රියාත්මක කරනු ලබන මර්දන ක්‍රියාවලිය මේ වන විට වඩාත් දැඩි මුහුණුවරක් ගෙන තිබේ. පක්ෂයේ විනය සහ මතවාදී ශක්තිය හීන වීම චීන නිලධාරිවාදය තුළ පවතින ගැටලුවලට ප්‍රධාන හේතුව බව විශ්වාස කරන ඔහු, ඊට පිළියමක් ලෙස අඛණ්ඩ පරීක්ෂණ සහ ස්වයං විවේචන ඇතුළත් ස්වයං විප්ලවයක් හඳුන්වා දී ඇත.
ජනාධිපතිවරයා දූෂිත නිලධාරීන් සමාන කර ඇත්තේ මුලිනුපුටා දැමිය යුතු හෝ කපා දැමිය යුතු රෝගී ගස්වලටය.මිලියන 101කට අධික සාමාජිකයන්ගෙන් යුත් කොමියුනිස්ට් පක්ෂයේ යාන්ත්‍රණය මෙහෙයවීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන න්යායපත්රයේ කොටසකි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේදී පමණක් පළාත් හෝ අමාත්‍ය මට්ටමේ නිලධාරීන් 49 දෙනෙකුට සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් 24,000කට දඬුවම් පමුණුවා තිබේ. 2022 වසරේදී මෙම සංඛ්‍යාව පිළිවෙළින් 69ක් සහ 35,000ක් ලෙස වාර්තා විය. වියෙනා විශ්වවිද්‍යාලයේ චීන දේශපාලනය සහ නීතිය පිළිබඳ කථිකාචාර්ය ලින්ග් ලී පෙන්වා දෙන්නේ මෙම දූෂණ විරෝධී ව්‍යාපාරය මේ වන විට සම්පූර්ණයෙන්ම සාමාන්‍යකරණය වූ ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවයි.
මෑත කාලීනව මෙම පවිත්‍රකරණ ක්‍රියාවලියේ දැඩිම බලපෑම එල්ල වී ඇත්තේ චීන හමුදාවටය. මේ වසර මුලදී චීනයේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන ෂැං යූෂියා දූෂණය සහ පක්ෂපාතී නොවීම යන චෝදනා මත රඳවා ගනු ලැබීය. 2022 වසරේ සිට මේ දක්වා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් විමර්ශනවලට ලක්ව හෝ හදිසියේ අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් තවදුරටත් විමර්ශන යටතේ පසුවේ.
ආර්ථික පසුබෑම සහ දේපළ වෙළෙඳපොළ කඩාවැටීම හේතුවෙන් ප්‍රාදේශීය ආණ්ඩු වල ආදායම් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති පසුබිමක, ලබන වසරේ පැවැත්වීමට නියමිත පක්ෂ කොංග්‍රසය අභියස නිලධාරීන්ට එල්ල වන මෙම පීඩනය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පක්ෂ කොංග්‍රසය රැස්වන විට නිලධාරීන් තුළ බියක් ඇති කිරීම මගින් තීරණ ගැනීමේදී පොදු එකඟතාවකට පැමිණීම පහසු කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.
මෙම මර්දනය හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සහ නිලධාරීන් වෙතද ව්‍යාප්ත වී තිබේ. මීට වසර අටකට පෙර විශ්‍රාම ගත් 74 හැවිරිදි චොංකිං නගරයේ හිටපු නගරාධිපති හුවාං කීෆාන් සහ බීජිං නගරයේ නියෝජ්‍ය නගරාධිපති ෂියා ලින්මාඕ පක්ෂ විනය උල්ලංඝනය කිරීමේ චෝදනා මත පසුගියදා විමර්ශනවලට ලක් කෙරිණි.
වඩාත් අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ, ජනාධිපති ෂී ගේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ පළමු අදියර සාර්ථකව මෙහෙයවූ, මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ හිටපු නායක 78 හැවිරිදි වැන්ග් කිෂාන්ගේ සමීපතමයන්ද මේ වන විට ඉලක්ක බවට පත්වීමයි. මුල්‍ය නිලධාරියෙකු වන ෂෝ ලියැන්ග් සහ විනය භාර නිලධාරියෙකු වූ ලී ෂියාඕහොන්ග් දූෂණ චෝදනා මත රඳවාගෙන ඇති අතර, තවත් හිටපු සහායකයෙකු වූ ඩොං හොං 2022 දී සිරගත කරනු ලැබීය. මීට අමතරව ඔහුගේ තවත් හිටපු සහායකයන් දෙදෙනෙකු මේ වසරේදී මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමෙන් පහත හෙළා ඇත.
විශ්‍රාමික නිලධාරීන් සතු දේශපාලන බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා තුළ පවතින සැකය මීට හේතු වී ඇති බව අනුමාන කෙරේ. ඇමරිකාවේ බෲකින්ස් ආයතනයේ පර්යේෂකයෙකු මෙන්ම මධ්‍යම ඔත්තු සේවා ඒජන්සියේ හිටපු නිලධාරියෙකු ද වන ජොනතන් සින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ අරමුණු වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළද, වැන්ග් කිෂාන් වැනි බලවත් පුද්ගලයන් අනාගතයේදී තමන්ට තර්ජනයක් විය හැකි බවට ෂී ජින්පිං සිතන බවයි.
කෙසේ වෙතත්, මෙම අඛණ්ඩ මර්දනයේ අහිතකර ප්‍රතිඵලද මේ වන විට මතු වෙමින් පවතී. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිලියන ගණනක් වූ කනිෂ්ඨ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටී ඇති බවත්, ඔවුන් තීරණ ගැනීමේදී දැඩි අවදානම් ගැනීමෙන් වැළකී සිටින බවත්ය. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් හිල්මන් පවසන පරිදි, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාදේශීය ආණ්ඩුවලට මධ්‍යම රජයෙන් පැමිණෙන දැඩි ඉල්ලීම් සපුරාලීමට අවශ්‍ය සම්පත් නොමැති බැවින්, බොහෝ නිලධාරීන්ට කෘත්‍රිමව ප්‍රතිඵල මවා පෙන්වීමට සිදුව තිබේ.