10-ministers-who-said-they-would-not-receive-the-salary-are-already-in-their-official-residences

අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට පොරොන්දු වූ ආණ්ඩුවේ ඇමතිවරුන් දහ දෙනෙකු මේ වන විටත් නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.




නිල නිවාස ප්‍රතික්ෂේප කරන බවට කළ ප්‍රකාශ සහ වත්මන් යථාර්ථය අතර පරස්පරයක් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ද නිල නිවාසවල රැඳී සිටින බව සඳහන් කළේය. ඊට අමතරව සියලුම මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාසවල සිටින බව පැවසූ ඔහු, ආණ්ඩුව පොරොන්දු වූ පරිවර්තනය කොහේදැයි ප්‍රශ්න කරමින් එය පළමුව ඉටු කරන ලෙස අභියෝග කළේය.

පාර්ලිමේන්තුව තුළ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විජේසිරි මහතා කියා සිටියේ, කතානායකවරයා කොට්ට මෙට්ට රැගෙන ගොස් ඒවා වසන් කළේ නම් ඕනෑම අයෙකුට මෙම පාර්ලිමේන්තුව තුළ ඕනෑම "බලු වැඩක්" කිරීමට හැකි වනු ඇති බවයි. එමෙන්ම අතීත සිදුවීමක් සිහිපත් කළ ඔහු, "එදා අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු කැන්ටිමේ මලික් සමරවික්‍රම බත් හැන්දක් බෙදනකන් ඉන්නවා කන්න. එහෙම යුගයක් තිබුණා." යනුවෙන් ද පැවසීය.




රටේ ජනතාව බත් කන පිරිසක් බැවින් ඔවුන්ව හැමදාම රැවටිය නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ආණ්ඩුව අද ගමන් කරන්නේ කොතැනටද යන්න පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත්, එකසිය පනස් නවය ජනතාවට සිදු කළේ බොරුවක් බව දැන් තේරුම් ගොස් ඇති බවත් ඔහු චෝදනා කළේය. මහ භාණ්ඩාගාරය පිරී ඇති බවට ප්‍රකාශ කළ ද ජනතාවට තුන් වේල ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

රට තුළ නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බවට චෝදනා කළ චමින්ද විජේසිරි මහතා, ගල්අඟුරු හොරා කෑ බව කියන ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවත් ඔහු නීතියට ඉහළින් සිටින බවත් සඳහන් කළේය. කන්ටේනර් තුන්සිය විසිතුනක් නිදහස් කළ පිරිස ද නීතියට ඉහළින් සිටින බව පැවසූ ඔහු, එක් නගරාධිපතිවරයෙකු තමන්ගේ බඩකට පුරවන ලෙස ඉල්ලා සිටින බවත් එය අල්ලසක් නොවේදැයි විමසා සිටියේය.



"නීතිය ජාතික ජන බලවේගයට එකක්. විපක්ෂයට එකක්. ජනතාවට එකක්." යනුවෙන් පවසමින් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය අවසන් කළේය.