cosmetic-doctor-brian-remanded-for-defaming-jayaratne-mal

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ විකෘති කළ හඬපටයක් සහ ඡායාරූපයක් හේතුවෙන් කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක අධ්‍යක්ෂවරියකට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට අපහාස සිදු කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින්, වෛද්‍යවරයෙකු බව කියා සිටින නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අවමංගල්‍ය සේවා සපයන ආයතනයක් වන ජයරත්න සමූහ ව්‍යාපාරයට අයත් ජයරත්න ෆියුනරල් ඩිරෙක්ටර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ විය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රයන් සමරසිංහ ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු 2026 නොවැම්බර් 24 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහුගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා සැකකරු 2026 දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.




අදාළ අධ්‍යක්ෂවරියට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට අපහාස වන අයුරින් විකෘති කරන ලද හඬපටයක් සහ ඡායාරූපයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කර ඇති බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ Dr. B Cosmetic Skin Clinic යන නමින් ආයතනයක් පවත්වා යන වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටින මෙම පුද්ගලයා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් දරන්නෙකු බවට හා චර්ම ආශ්‍රිත කොස්මටික් ප්‍රතිකාර සිදුකරන්නෙකු ලෙස සිය ෆේස් බුක් ගිණුමේ විස්තර කර ඇත. ඔහුගේ පිටුවේ විශේෂත්වය වන්නේ විවිධ ප්‍රසිද්ධ මෙන්ම අප්‍රසිද්ධ අයගේ හඬපට වීඩියෝ ආකාරයෙන් ඉදිරිපත් කරමින් සිය ව්‍යාපාරයට ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමය. ක්ෂෙත්‍රයේ වෙනත් අය ලවා කරවාගන්නා ප්‍රතිකාර අසාර්ථකවීම් ගැන ඔහු අමතා ඇතැම් පාරිභෝගකයින් ලබාදෙන ඇමතුම් ප්‍රතිකාර කළ අයගේ නම් සමග සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් ඔහු එම විස්තර ඉදිරිපත් කරන බව හඳුනාගන්නට ලැබේ.



ජයරත්න ෆියුනරල් ඩිරෙක්ටර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන්ද ඔහු වීඩියෝවක් සිදුකර මෙම නීතිමය ගැටලුවට මුහුණදී ඇත.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ ලිංගික හිරිහැර කිරීමේ චෝදනා මෙන්ම, එම සංග්‍රහයේ 486 සහ 285 වැනි වගන්ති යටතේ සිදු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ කටයුතු අතරතුර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ වීඩියෝව දළ වශයෙන් 5,000ක පමණ පිරිසක් නරඹා ඇති බවයි. එම වීඩියෝව හේතුවෙන් පැමිණිලිකාරියට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට බරපතළ හානියක් සිදුව ඇති බවද එහිදී අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. වින්දිතයන්ට සිදු වූ බව කියන මානසික කම්පනය, පීඩාව, කීර්තිනාමයට වූ හානිය සහ ලිංගික හිරිහැරය සැහැල්ලුවෙන් නොසැලකිය යුතු බවට පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

සැකකරුගේ ඉදිරි නෛතික තත්ත්වය සහ මෙම විමර්ශනයේ මීළඟ පියවර සම්බන්ධයෙන් නැවත අධිකරණයේ අවධානය යොමු වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 3 වැනිදා පැවැත්වෙන මීළඟ නඩු වාරයේදීය.

cosmetic-doctor-brian-remanded-for-defaming-jayaratne-mal

cosmetic-doctor-brian-remanded-for-defaming-jayaratne-mal