drug-pills-found-in-van-doctor-arrested

රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරයෙකු, මත්ද්‍රව්‍ය සඳහා ආදේශකයක් ලෙස භාවිත කෙරෙන ඖෂධ පෙති තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන සිද්ධියක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වේ. ස්නායු ආබාධ සඳහා ඖෂධයක් වශයෙන් ලබාදෙන, එහෙත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඊට ආදේශකයක් ලෙස පාවිච්චි කරන පෙති සියයක් සමඟ තිස් අට හැවිරිදි වෛද්‍යවරයෙකු පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.




මෙලෙස සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවතට නුදුරු ප්‍රදේශයක පිහිටි ප්‍රාදේශීය රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකි. පොලිස් විශේෂ කාර්යාංශයේ හලාවත ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ හලාවත දී මෙම වැටලීම සිදු කර තිබේ. ඒ අනුව වෑන් රථයකින් ගමන් කරමින් සිටි සැකකාර වෛද්‍යවරයා අදාළ මත් පෙති සියය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ජයසූරිය (68343) මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.




අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ (22) ඔහු පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඒ අනුව මෙම මස 26 වැනිදා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති අතර, මධ්‍යම රාත්‍රියේ වෑන් රථයකින් ප්‍රවාහනය කළේ යැයි කියන මෙම ඖෂධ පෙති සියය සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය ඉදිරියේදී අධිකරණය හමුවේ විභාග වීමට නියමිතය.