gem-businessman-arrested-for-attacking-two-people-crossing-the-road-at-white-lines-in-borella

බොරැල්ල කනත්ත මංසන්ධියේ රතු පැහැති මාර්ග සංඥාව දැල්වෙමින් තිබියදී සුදු ඉර මතින් පාර මාරු වූ දෙදෙනකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පදික මාරුව මතදී නාද වූ සුඛෝපභෝගී ජීප් රථයක නළාවකින් ඇරඹි බහින්බස් වීමක් අවසානයේ පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.




බොරැල්ල පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම සැකකාර මැණික් ව්‍යාපාරිකයා සිය සුඛෝපභෝගී ජීප් රථයෙන් රාජගිරිය දෙස සිට බොරැල්ල දෙසට ගමන් කරමින් සිට ඇත. බොරැල්ල කනත්ත වටරවුම ආසන්න මංසන්ධියේ රතු සංඥා දැල්වී තිබියදී පදිකයන් දෙදෙනකු පදික මාරුව ඔස්සේ මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇති අතර, එහිදී සැකකරු ජීප් රථයේ නළාව ශබ්ද කිරීම මුල් කරගනිමින් දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් හටගෙන තිබේ.

එම වචන හුවමාරුවෙන් අනතුරුව මැණික් ව්‍යාපාරිකයා ජීප් රථයෙන් බැස විත් අදාළ පුද්ගලයන් දෙදෙනාට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.




මෙම පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ බොරැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ගංජා පානය කර සිට ඇති බවයි.

පදික මාරුවකදී ඇති වූ නොසන්සුන්තාවකින් පසු පොලිස් අත්අඩංගුවට පත් වූ මෙම සැකකාර මැණික් ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.