අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වොෂින්ටන් නුවරට ආසන්නව ඉදිකිරීමට යෝජිත දැවැන්ත ආරුක්කුවකට එරෙහිව කෙනඩි පවුලේ සාමාජිකයින් පිරිසක් විසින් අධිකරණයේ නඩු පවරා තිබේ. අඩි 250ක් උසැති මෙම ස්මාරකය ඉදිකිරීම හේතුවෙන් ආර්ලිංටන් ජාතික සුසාන භූමියේ මිහිදන් කර ඇති තම පවුලේ සාමාජිකයින්ගේ සහ අනෙකුත් ඇමෙරිකානු රණවිරුවන්ගේ ස්මාරකයන්ට සෙවණැලි වැටීමෙන් ඒවායේ ඓතිහාසික දර්ශනපථයන් අවහිර වන බව ඔවුහු සිය නඩුවෙන් පෙන්වා දෙති.
පැරිසියේ ‘ආක් ඩි ට්රියොම්ෆ්’ ආරුක්කුවේ හැඩයට නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති මෙම මහල් 25කින් යුත් දැවැන්ත ව්‍යූහය, පෝටොමැක් ගඟේ වර්ජීනියා ප්‍රාන්තයට අයත් කොටසේ, ලින්කන් ස්මාරකය සහ ඇමෙරිකානු සිවිල් යුද සමයේ සිට රණවිරුවන් මිහිදන් කළ ආර්ලිංටන් ජාතික සුසාන භූමිය අතර ඉදිකිරීමට නියමිතව ඇත.
ජනාධිපති ට්‍රම්ප් නීතිවිරෝධී ලෙස මෙම දැවැන්ත ආරුක්කුව ඉදිකිරීමට උත්සාහ කරන බව කෙනඩි පවුලේ සාමාජිකයන් චෝදනා කර තිබේ. මෙම ඉදිකිරීම හේතුවෙන් 1963 දී ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙනුවෙන් ඉදිකර ඇති සදාතනික ගිනිසිළුව වෙත ඇති දර්ශනපථය ස්ථිරවම අවහිර වන බව ඔවුහු පවසති. ඊට අමතරව 1968 දී ඝාතනයට ලක්වූ සෙනෙට් සභික සහ ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි මෙන්ම වසර 43ක් කොංග්‍රසයේ සේවය කර 2009 වසරේදී මියගිය සෙනෙට් සභික එඩ්වඩ් "ටෙඩ්" කෙනඩි යන අයගේ ස්මාරක වෙතද මෙමගින් බාධා එල්ල වන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.
මෙම නඩුව සඳහා කෙනඩි පවුලේ සාමාජිකයින් නව දෙනෙකු පැමිණිලිකරුවන් ලෙස නම් කර ඇති අතර, ඒ අතරට රොබට් එෆ්. කෙනඩිගේ දියණිය වන කෙරී කෙනඩි සහ එඩ්වඩ් එම්. කෙනඩි (කණිෂ්ඨ) ද ඇතුළත් වෙති. "වීරත්වය ඉදිරියේ අහංකාරය කිසිවිටෙකත් හරස් නොවිය යුතුයි" යනුවෙන් රොබට් සහ එතල් කෙනඩි මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපතිනිය ද වන කෙරී කෙනඩි අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් මෙන්ම සෞඛ්‍ය හා මානව සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි (කණිෂ්ඨ) ගෙන් ද අදහස් විමසීමට මාධ්‍ය ආයතන කටයුතු කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් මීට පෙර මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබුණේ සුවිශේෂී සංධිස්ථානයක් මෙන්ම හමුදාමය වත්කමක් ලෙසිනි. පසුගිය නොවැම්බර් 2 වැනිදා ලින්කන් ස්මාරකයට අයත් ජලාශයේ සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ මෙම නව ආරුක්කුව තුළ ඩ්‍රෝන යානා සහ ස්නයිපර් භටයින් රඳවා තැබිය හැකි බවයි. "එය සියල්ලේම මධ්‍යයේ පිහිටන නිසා අපේ හමුදාවට එය ඉතා වැදගත්. නමුත් අලංකරණය පැත්තෙන් බැලුවොත්, එය ලෝකයේ ලස්සනම ආරුක්කුව වේවි" යැයි ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබුණි.
මෙම ව්‍යාපෘතියට එරෙහි වන්නන් මීට පෙර පෙන්වා දී තිබුණේ, ලින්කන් ස්මාරකයේ සිට ආර්ලිංටන් සුසාන භූමිය වෙත ඇති දර්ශනය මෙම ආරුක්කුව හේතුවෙන් අවහිර වන බවයි. හිටපු කොන්ෆෙඩරේට් ජෙනරාල් රොබට් ඊ. ලී ගෙන් අත්පත් කරගත් භූමියක ඉදිවූ ආර්ලිංටන් සුසාන භූමිය සහ ලින්කන් ස්මාරකය අතර ඇති මෙම පැහැදිලි දර්ශනපථය, ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසු රටේ යළි එක්සත් වීම නිරූපණය කරන සංකේතයක් ලෙස සැලකේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ට්‍රම්ප්ගේ මෙම සැලසුම සඳහා අනුමැතිය ලබා දී ඇත. එහෙත් වොෂින්ටන් සහ වර්ජීනියා ප්‍රාන්ත විසින් ගොනු කරන ලද වෙනත් නඩුවකට ප්‍රතිචාර දක්වමින් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නොවැම්බර් 5 වැනිදා මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබේ. අදාළ ප්‍රාන්ත සිය නඩුවෙන් තර්ක කර ඇත්තේ මෙම ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයාට කොංග්‍රසයේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.
ජාතියේ අගනුවර ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ට්‍රම්ප් ගෙන ඇති මෙම සැලසුම් ඇමෙරිකානුවන් අතර එතරම් ජනප්‍රිය නොවන බව මත විමසුම්වලින්ද අනාවරණය වී ඇත. මැයි මාසයේ පැවති මත විමසුමකට අනුව, ඇමෙරිකානුවන්ගෙන් සියයට 52ක් මෙම ව්‍යාපෘතියට එරෙහිව අදහස් දක්වා ඇති අතර ඉන් සියයට 41ක් එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ව්‍යාපෘතියට සහය පළ කර ඇත්තේ සියයට 21ක ප්‍රතිශතයක් පමණි. කොංග්‍රසයේ බලය යළි ලබාගත් ඩිමොක්රටික් පාක්ෂිකයින්ද මධ්‍යවාර මැතිවරණයට පෙර ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා වොෂින්ටනයේ ඉදිකිරීම් ව්‍යාපෘති වෙත වැඩි අවධානයක් යොමු කර ඇති අතර සාමාන්‍ය ඇමෙරිකානුවන්ගේ ජීවන වියදම අඩු කිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි.
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ මැතිවරණ ප්රචාරක වීඩියෝවකද ජනාධිපතිවරයාගේ මෙම ඉදිකිරීම් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල වී තිබුණි. "ඔහු ගෙවල් අලුත්වැඩියා කිරීමට දැඩි අවධානයක් යොමු කර ඇති බව ඔබ දුටුවාදැයි මා දන්නේ නැහැ. ඔහු සිටිය යුත්තේ නිවාස අලංකරණ රූපවාහිනී නාලිකාවකය. ධවල මන්දිරයටත් වඩා විශාල බෝල්රූම් එකක් ඔහු හදනවා. රෝස උයනට උඩින් පදික වේදිකාවක් හදලා පැති මිදුලේ හෙලිකොප්ටර් අංගනයක් දාලා" යනුවෙන් ඔබාමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.