complete-freedom-for-anojan-sivarasa

සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනා අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග අවසන් කරමින් ඔහුට සම්පූර්ණ නිදහස ලබාදීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.




විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළේ, නිදහස ලැබූ අනෝජන් ඉදිරියේදී යළිත් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍යතාන්ත්‍රික පියවර මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

අනෝජන්ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්වූයේ පසුගිය සැප්තැම්බර් 17 වැනිදාය. අපහාසාත්මක යැයි සැලකුණු ෆේස්බුක් ප්‍රකාශයක් පදනම් කරගනිමින් ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කරමින් සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනා අධිකරණය එදින ඔහුට මරණ දඬුවම නියම කළේය.




කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය දියත් කළ කඩිනම් රාජ්‍යතාන්ත්‍රික සහ වෙනත් මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් 14 වැනිදා එම මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අධිකරණය තීරණය කළේය. ඉන් අනතුරුව ද ඔහුට පනවා තිබූ අනෙකුත් දඬුවම්වලින් මුදවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීහු අඛණ්ඩව සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වල නිරත වූහ.

එම අඛණ්ඩ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් සටහන් කරමින්, අනෝජන්ට එරෙහි නඩු කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන නොයෑමට සෞදි අරාබියේ අභිචෝදක කාර්යාලය 2026 නොවැම්බර් 09 වැනිදා තීරණය කර තිබේ. ඒ අනුව ඔහුට මේ වනවිට නීතිය ඉදිරියේ පූර්ණ නිදහස හිමිව ඇත.



මෙම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය පසුපස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මඟපෙන්වීම සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය පැවති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. ඊට අමතරව, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදුන් සෞදි රජයට, එරට අධිකරණයට, දෙරටේම රාජ්‍යතාන්ත්‍රික ආයතනවලට හා නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියටම ගොස් මෙම නීතිමය සටන මෙහෙයවූ නීතිඥ කණ්ඩායමට ද අමාත්‍යවරයා සිය ගෞරවය පුද කළේය.

තම දරුවාගේ ජීවිතය යළිත් තමන් වෙත ලබාදීම වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම සඳහා අනෝජන්ගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රාජ්‍ය ආයතනවලට සහ නිලධාරීන්ට සිය ස්තුතිය පළ කළ ඔවුන්ගේ ඊළඟ එකම බලාපොරොත්තුව වී ඇත්තේ පූර්ණ නිදහස ලැබූ තම පුත්‍රයා යළිත් නිරුපද්‍රිතව මෙරටට පැමිණෙන දිනයයි.