2019 පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේගේ සැලසුම් සහගත මෙහෙයවීමක් යටතේ සහ තවත් තිදෙනෙකුගේ වක්රාකාර දැනුවත් වීම මත සිදුවූවක් බව රහස් පොලිසිය ඊයේ (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මේ බව හෙළිදරව් කෙරුණේ, සිද්ධියට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේගෙන් මෙන්ම, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ සහ නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගෙන් සහ අසාද් මව්ලානා නැමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශවලින් තහවුරු වූ කරුණු මත පදනම්වය.
2024 ඔක්තෝබර් 11 වැනිදා ජූඩ් රෝශාන් පියතුමාගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රහාරයේ පෙර සහ පසු විපරම් මෙන්ම සැබෑ වගකිවයුත්තන් සෙවීමේ විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී 2020 වසරේදී සුරේෂ් සලේ සහ අසාද් මව්ලානා යන අය අහුංගල්ලේ හෝටලයක මුදල් ගෙවා කාමර වෙන්කරගෙන නැවතී සිට ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර, ඊට අදාළ බිල්පත් ලබාගැනීම සඳහා අදාළ හෝටලයට නියෝගයක් නිකුත් කරන ලෙසද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
2026 පෙබරවාරි 28 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ සුරේෂ් සලේ ජුනි 07 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාස හතරක කාලයක් රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් විමර්ශන අඩපණ වූ බවත්, ඉකුත් ඔක්තෝබර් 06 වැනිදා ඔහුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් පසු විමර්ශන කටයුතු කඩිනම් කර ඇති බවත් පැමිණිල්ල වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විමර්ශනවලදී යාසික් බාවා නමැත්තා සහ පොලිස් නිලධාරියෙකුද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සංකීර්ණ විමර්ශනයට වක්‍රාකාරව සහාය දුන්නේ යැයි පවතින සාධාරණ සැකයක් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාවේ හිටපු කර්නල් මොහොමඩ් අන්සාර් සහ හිටපු බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම යන අයට එරෙහිව ඉකුත් ජුනි 03 වැනිදා අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.
සිය විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෝසමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහුද අධිකරණයේ පෙනී සිටියේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීම තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් අධිකරණයට ඇත්නම් පමණක් මෙම තහනම ඉවත් කිරීමට තමන් විරුද්ධ නොවන බවයි. ඔහු යළි නොපැමිණියහොත් එය විමර්ශනවලට බලවත් අගතියක් විය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවද රහස් පොලිසිය එහිදී සඳහන් කළේය.
එහෙත් මහේස්ත්‍රාත් පසන් අමරසේන නීතිමය පසුබිම පැහැදිලි කරමින් අවධාරණය කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඔහුට ඇප කොන්දේසි හෝ බැඳුම්කර පැනවීමට අධිකරණයට බලයක් නොමැති බවයි. එබැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් විට, යළි පැමිණීම තහවුරු කිරීමේ ක්‍රමවේදයක් නොමැති නම් තහනම ඉවත් කිරීමට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව රහස් පොලිසිය ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් විජේවර්ධනගේ උපදෙස් මත කරුණු දැක්වූ නීතිඥ රුවන්ත කුරේ සඳහන් කළේ, සිය සේවාදායකයා 2019 මැයි මාසයේදී සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී බයිපාස් සැත්කමකට භාජනය වූ බවත්, ඔහු වෛද්‍ය ශිවදාසන් මහතා හමුවී පසු විපරම් වෛද්‍ය සමාලෝචන සඳහා මුහුණදිය යුතු බවත්ය. 2026 ජූලි 24 වැනිදා වෛද්‍ය බන්දුල විජේසිරි විසින් නිකුත් කළ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා, අදාළ වෛද්‍යවරයා සිංගප්පූරුවේ රැඳී සිටින්නේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 08 දක්වා පමණක් බැවින් එම කාලය තුළ ප්‍රතිකාර සඳහා පිටත්ව යාමට විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. සිය සේවාදායකයා අද වනතුරුත් නඩුවේ සැකකරුවෙකු කර නොමැති බවත්, ප්‍රකාශයක් ලබාගැනීමට පවා මෙතෙක් කැඳවා නොමැති බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් වන නියෝගය ලබන නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. එමෙන්ම සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.