a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer

2019 නොවැම්බර් 22 වැනිදා උදෑසන වික්ටෝරියා පොලිසියේ සැරයන්වරියක වූ ශෝනා ඕ'කොනර් සිය නිල ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළාය. සුපුරුදු පරිදි රාජකාරි ගිනි අවිය ලබාගත් ඇය, පොලිස් රථයක නැඟී පැයක පමණ දුරකින් පිහිටි මෝම්ස්බරි (Malmsbury) නගරය වෙත ධාවනය කළාය.

එහි උද්භිද උද්‍යානයේ පිහිටි පොදු වැසිකිළියකට ඇතුළු වී දොරගුළු ලා ගත් ඕ'කොනර්, 000 හදිසි අංකයට ඇමතුමක් ගනිමින් තමා පොලිස් නිලධාරිනියක බවත්, තමා සියදිවි නසාගැනීමට යන බවත් දැනුම් දුන්නාය. අනතුරුව, හාදු සලකුණක් ද සමගින් "මම ඔයාලට ආදරෙයි" යනුවෙන් සිය පවුලේ සාමාජිකයන්ට කෙටි පණිවිඩයක් යැවූ ඇය, තමාගේම ගිනි අවියෙන් දිවි තොර කර ගත්තාය.




දරුවන් තිදෙනෙකුගේ මවක වූ 43 හැවිරිදි ශෝනා, පෙර පාසල් වියේ සිටම පොලිස් නිලධාරිනියක වීමේ සිහිනය දුටු, දශක දෙකකට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත වූ තැනැත්තියකි. 2026 නොවැම්බර් 9 වැනිදා විකාශය වූ ABC නාළිකාවේ 'ෆෝ කෝනර්ස්' (Four Corners) විමර්ශනාත්මක වැඩසටහන හරහා අනාවරණය වූ පරිදි, ඇයගේ මෙම ඛේදනීය මරණය හුදු පුද්ගලික තීරණයක් නොව, පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා පරිසරය තුළ මුල් බැසගත් ගැටලුකාරී සංස්කෘතියක ප්‍රතිඵලයකි. මෙම සිදුවීම විමර්ශනය කළ වෘත්තීය ප්‍රමිති විධානයේ (Professional Standards Command) රහස් පරීක්ෂක ජේකබ් ලේඩ්ලෝ එය විස්තර කළේ "ඔබ නිසයි මා මෙය කරන්නේ" යනුවෙන් වික්ටෝරියා පොලිසියට ලබා දුන් "සෘජු පණිවිඩයක් සහිත සියදිවි නසාගැනීමක්" ලෙසිනි.

ශෝනාට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවූයේ ඇය සේවය කළ මෙල්ටන් පොලිස් ස්ථානයේ පැවති විෂ සහිත සේවා පරිසරය හේතුවෙනි. හිටපු නිලධාරීන් විසින් විස්තර කර ඇති පරිදි එය ලිංගික අඩන්තේට්ටම් සහ අධික ලෙස මත්පැන් භාවිතය රජයන "පිරිමි සමාජයක්" බඳු විය. නවක කාන්තා නිලධාරිනියන්ව හැඳින්වූයේ "පී වීස්" යනුවෙනි. ඔවුන් සමග මුලින්ම යහනට යන්නේ කවුරුන්දැයි පිරිමි නිලධාරීන් අතර තරගයක් පවා පැවති බවට තොරතුරු වාර්තා විය. මෙල්ටන්හි පැවති මෙම තත්ත්වය පිළිබඳව මීට පෙරද වික්ටෝරියා පොලිසිය විසින් සමීක්ෂණයක් සිදුකර තිබූ අතර, එහිදී ද නොහොබිනා හැසිරීම් පවතින බව පිළිගෙන තිබිණි.




2017 වසරේ පැවති පුහුණු සැසියකදී සහ තවත් නිල උත්සවයකදී ඇයගේ ජ්‍යෙෂ්ඨ සැරයන්වරයා වූ සයිමන් පේන්, ඇයගේ පියයුරුවල ප්‍රමාණය සම්බන්ධයෙන් අසභ්‍ය අදහස් පළ කරමින් ඇයට ලිංගික හිංසනයන් සිදු කර තිබුණි. මේ පිළිබඳව ශෝනා විසින් පරීක්ෂක කැත්රින් රඩ්කින්ස්ට පැමිණිලි කළද, ඇයගේ පවුලේ අය සහ එවකට පෙම්වතා පවසන පරිදි ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොතිබිණි. මේ අතර පේන් සහ රඩ්කින්ස් අතර රහසිගත සබඳතාවක් පවතින බවට ද කටකතා පැතිර ගිය අතර රඩ්කින්ස් එය ප්‍රතික්ෂේප කළාය.

දිගින් දිගටම එල්ල වූ බලපෑම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් ශෝනා පසුව ආසන්නයේ පිහිටි කැරොලයින් ස්ප්‍රින්ග්ස් (Caroline Springs) පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා ගත්තාය. එහෙත් එහිදී ද අධික වැඩ මුර සහ දිගු සේවා කාලයන්ට මුහුණ දීමට ඇයට සිදුවිය. ඇය තුළ වූයේ නැවතත් මෙල්ටන් පොලිස් ස්ථානයට යැවේවිද යන දැඩි භීතියකි. "තාත්තේ, මම ආයෙත් මෙල්ටන්වලට ගියොත් ඒගොල්ලෝ මාව කෑලිවලට කපාවි" (mincemeat) යනුවෙන් ඇය සිය පියාට පවසා තිබුණි. මරණයට දින තුනකට පෙර තවත් කළමනාකරුවෙකුගේ දෝෂාරෝපණයට ලක්වීමෙන් අනතුරුව, ඇය සිය පියාට ඇමතුමක් ගෙන තිබුණේ දැඩි මානසික පීඩනයකිනි. මරණයට පෙර දින රාත්‍රියේ ඇය සිය පෙම්වතා සමග ද ආරවුලක් ඇති කරගෙන තිබූ බව වාර්තා වේ.



ඇයගේ මරණයෙන් පසු රහස් පරීක්ෂක ලේඩ්ලෝ විසින් සිදු කරන ලද විමර්ශනවලදී මෙල්ටන් පොලිස් ස්ථානයේ තවත් බරපතළ දූෂණ රැසක් අනාවරණය විය. ජ්‍යෙෂ්ඨ සැරයන් පේන් සේවා කාලය තුළ සුනඛ තරගවල නිරත වීම, පොලිස් භාරයේ තිබූ දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම සහ සාක්ෂි බහාලන කවර කපා නැවත මුද්‍රා තැබීම ඒ අතර විය. මෙම අක්‍රමිකතා හේතුවෙන් අපරාධමය චෝදනා සහ කීර්ති නාමයට හානිවීමේ අවදානමක් පවතින බවට වෘත්තීය ප්‍රමිති අංශය වාර්තා කළද, බලධාරීන් විසින් එම පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට විමර්ශකයෝ චෝදනා කරති. පසුව පේන් අත්අඩංගුවට පත් වූ නමුත් මහජන නිලයක් දරමින් විෂමාචාරයේ යෙදීමේ චෝදනාව ඉල්ලා අස්කර ගත් අතර, පොලිස් භාරයේ තිබූ උපකරණයක් නිවසට ගෙන යාමේ සිද්ධියකට අදාළව ඔහුට විකල්ප දඬුවමක් නියම විය. මේ අතර, පේන් සමග කිට්ටු සබඳතාවක් පැවැත්වූ පරීක්ෂක රඩ්කින්ස්, තමන් ඔහු සමග ප්‍රේමවන්තියක සේ හැසිරුණු බව පිළිගනිමින්, විනය පරීක්ෂණ අවසන් වීමට පෙරම සේවයෙන් විශ්‍රාම ගත්තාය.

ශෝනාගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණ ක්‍රියාවලිය ද දැඩි මතභේදයකට තුඩු දී තිබේ. මෙල්ටන් පොලිසියේ සංස්කෘතිය පිළිබඳ ප්‍රකාශ, ශෝනාට එල්ල වූ හිරිහැර පිළිබඳ පැමිණිලි සහ ඇයගේ සහෝදරියන්ගේ ප්‍රකාශ වැනි අතිශය වැදගත් සාක්ෂි මරණ පරීක්ෂකවරිය වෙත ඉදිරිපත් කළ වාර්තාවෙන් වසන් කර තිබුණි. ඒ හේතුවෙන්, සේවා ස්ථානයේ හිරිහැර කිරීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවට මරණ පරීක්ෂක කැත්රින් ලොරෙන්ස් නිගමනය කළාය.

මෙය වික්ටෝරියා පොලිසිය තුළ හුදෙකලා සිදුවීමක් නොවේ. 2009 ජනවාරි සිට 2024 අගෝස්තු දක්වා වික්ටෝරියා පොලිසියේ සේවකයින් 35 දෙනෙකු සියදිවි නසාගෙන ඇති අතර, ඉන් 70% කටම සේවා ස්ථානයේ පීඩනයන් බලපා ඇති බව මරණ පරීක්ෂකවරියකගේ විශ්ලේෂණයකින් හෙළි වී ඇත. සේවා ස්ථානයේ හිරිහැර කිරීම්, අධික වැඩ බර සහ සේවා මුර ගැටලු මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, ඉන් සිද්ධීන් අටකදීම ඔවුන් භාවිත කර ඇත්තේ ගිනි අවියයි.

ශෝනාගේ පියා වන මයිකල් ඕ'කොනර් සහ සහෝදරිය වන රෙෂෙල්, ඇයගේ මරණ පරීක්ෂණය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා ප්‍රධාන කොමසාරිස් මයික් බුෂ් වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. මෙල්ටන් පොලිසියේ පැවතියේ "පිළිගත නොහැකි" සංස්කෘතියක් බවත්, අදාළ සියලු සාක්ෂි මරණ පරීක්ෂකවරිය වෙත යොමු කළ යුතුව තිබූ බවත් කොමසාරිස්වරයා දැන් පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි රහස් පරීක්ෂක ලේඩ්ලෝට ද බලපෑම් සහ බාධා කිරීම්වලට ලක්වීම හේතුවෙන් වයස අවුරුදු 36 දී අසනීප තත්ත්වයන් මත සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදුවූ අතර, ඔහු මේ වන විට වන්දි ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

වික්ටෝරියා පොලිසියේ සේවා සංස්කෘතියකට එරෙහිව සිය ජීවිතයෙන් වන්දි ගෙවමින් ශෝනා ඕ'කොනර් තැබූ ඒ ඛේදනීය පණිවිඩය, අදටත් යුක්තිය අපේක්ෂාවෙන් දෝංකාර දෙමින් පවතී.

a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer

a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer



a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer

a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer



a-revelation-about-au-victoria-police-after-the-death-of-a-police-officer