the-story-of-soichiro-honda-who-built-the-honda-empire-without-giving-up-on-his-dreams-despite-everything-being-destroyed-and-lost

ජපානයේ එක්තරා කුඩා දරුවෙකුට, පාසල් අධ්‍යාපනයට වඩා ගරාජයේ ඔයිල් සුවඳට හිත ගියේය. අධ්‍යාපනයේ ඉහළට යාම ඔහුට එතරම් වැදගත් වූයේ නැත.යන්ත්‍ර සූත්‍ර කෙරෙහි දැඩි උමතුවකින් පෙළුණු ඔහු, බෝම්බ ප්‍රහාර සහ භූමිකම්පා හමුවේ තමා ගොඩනැගූ සියල්ලම විනාශ වී යද්දීත් තම ගමන නතර කළේ නැත.

මේ සුවිශේෂී කතාව, යුද්ධයෙන් අළු බවට පත්ව තිබූ ජපානයේ වර්ග මීටර 16ක කුඩා ලී මඩුවකින් ආරම්භ වී අද වන විට ලොව පුරා විහිදී ගිය දැවැන්ත සමාගමක් බවට පත් වූ හොන්ඩා සමාගමේ නිර්මාතෘ සොයිචිරෝ හොන්ඩාගේ ජීවිත කතාවයි.




1906 නොවැම්බර් 17 වැනිදා ජපානයේ ෂිෂුඕකා ප්‍රාන්තයේ හමාමාට්සු අසල කෝමියෝ ගම්මානයේදී සොයිචිරෝ උපත ලැබීය. ඔහුගේ පියා වූ ගිහේයි, බයිසිකල් අලුත්වැඩියා කළ කම්මල්කරුවෙකු වූ අතර මව වූ මිකා වියන්නියක වූවාය. ඔහුගේ ළමා කාලයේ එක් දිනෙක ගම්මානය හරහා ගිය පළමු මෝටර් රථය දැකීමෙන් ඔහු තුළ යන්ත්‍ර කෙරෙහි ඇති වූ අප්‍රමාණ ආශාව කිසිදා මැකී ගියේ නැත. ගුවන් නියමුවෙකු වූ ආර්ට් ස්මිත්ගේ සංදර්ශනයක් නැරඹීම සඳහා ඔහු සිය පියාගේ බයිසිකලය රැගෙන ගියේද මෙම යන්ත්‍ර සූත්‍ර කෙරෙහි වූ ඇල්ම නිසාමය.

වයස අවුරුදු 15 දී නිසි අධ්‍යාපනයක් ද නොමැතිව ටෝකියෝව බලා ගිය ඔහු ආර්ට් ෂෝකායි ගරාජයේ ආධුනිකයෙකු ලෙස සේවයට බැඳුණි. 1923 මහා කාන්ටෝ භූමිකම්පාව ද ඇතුළුව වසර හයක් පමණ කාර්මිකයෙකු ලෙස එහි අත්දැකීම් ලබාගත් සොයිචිරෝ, 1928 දී යළි සිය ගම්මානයට පැමිණ ආර්ට් ෂෝකායි හි ශාඛාවක් ලෙස තමාගේම අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. දක්ෂ කාර්මිකයෙකු ලෙස නමක් දිනාගත් ඔහු මෝටර් රථ ධාවන තරග සඳහා ද එක්වූ නමුත්, 1936 දී සිදු වූ අනතුරකින් ඔහුගේ වම් ඇසට හානි වීමත් සමඟ එම පරිච්ඡේදය නිමාවට පත් විය.




ඉන් නොනැවතුණු සොයිචිරෝ 1937 දී ටොයෝටා සමාගමට පිස්ටන් රින්ග් සැපයීමේ අරමුණින් ටෝකායි සෙයිකි ආයතනය පිහිටුවීය. ආරම්භයේදීම ඔහුට මුහුණදීමට සිදුවූයේ දැඩි පසුබෑමකටය. ඔහු නිෂ්පාදනය කළ පළමු මුදු 50න් ටොයෝටා සමාගම පිළිගත්තේ සුළු ප්‍රමාණයක් පමණි. නමුත් අධෛර්යමත් නොවූ ඔහු රාත්‍රී කාලයේ ලෝහ විද්‍යාව හැදෑරීමට පන්ති ගොස් සිය නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කළේය. පසුව සේවකයින් 2,000කට වැඩි පිරිසක් සිටින ආයතනයක් දක්වා එය වර්ධනය වූ අතර, ටොයෝටා සමාගමට මෙන්ම ගුවන් යානා සහ යුධ අවශ්‍යතා සඳහා ද කොටස් සැපයීය. දෙවන ලෝක යුධ සමයේදී ටොයෝටා සමාගම මෙහි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, එය යුධෝපකරණ පාලනය යටතට පත් විය.

එහෙත් යුද්ධය විසින් මේ සියල්ල විනාශ කර දමනු ලැබීය. 1944 දී ඇමෙරිකානු බී-29 බෝම්බ ප්‍රහාරයකින් යමාෂිටා කර්මාන්තශාලාව විනාශ වූ අතර, 1945 ජනවාරි මාසයේ ඇති වූ මිකාවා භූමිකම්පාවෙන් ඉවාටා කර්මාන්තශාලාව බිමට සමතලා විය. තමන් විසින් ගොඩනැගූ සියල්ලම අහිමි වූ සොයිචිරෝ, ඉතිරි වී තිබූ යන්ත්‍රෝපකරණ යෙන් 450,000ක මුදලකට ටොයෝටා සමාගමට විකුණා දමා සුළු කාලයකට ව්‍යාපාරික ලෝකයෙන් ඈත් විය.



පශ්චාත් යුද සමයේ ජපානය දැඩි ඉන්ධන හිඟයකින් සහ ප්‍රවාහන දුෂ්කරතාවලින් පීඩා වින්දේය. මේ අපහසුතාවය හඳුනාගත් සොයිචිරෝ 1946 ඔක්තෝබර් මාසයේදී, හමාමාට්සු හි ගිනිගත් බිමක වර්ග මීටර 16ක පමණ කුඩා ලී මඩුවක හොන්ඩා තාක්ෂණික පර්යේෂණ ආයතනය පිහිටුවීය. එහිදී යුද හමුදාවෙන් ඉවත් කර තිබූ රැහැන් රහිත රේඩියෝ සඳහා භාවිත කළ විදුලි උත්පාදක යන්ත්‍ර 500ක් පමණ මිලදී ගත් ඔහු, ඒවා සාමාන්‍ය බයිසිකල්වලට සවි කළේය. ඒවායේ එන්ජිමෙන් නැගුණු ශබ්දය නිසා බට-බට යන නමින් හැඳින්වූ මෙම නව නිපැයුම, ප්‍රවාහනයට වෙනත් විකල්පයක් නොතිබූ එම වකවානුවේ ජනතාව අතර ඉතා වේගයෙන් ජනප්‍රිය විය.

1947 දී හොන්ඩා සමාගමේ ප්‍රථම මහා පරිමාණ නිෂ්පාදනය වන බයිසිකලයක සවි කළ ටයිප් ඒ එන්ජිම හඳුන්වා දෙන ලදී. අනතුරුව 1948 සැප්තැම්බර් 24 වැනිදා යෙන් මිලියනයක ප්‍රාග්ධනයකින් සහ සේවකයින් කිහිප දෙනෙකුගෙන් යුතුව Honda Motor Co., Ltd. නිල වශයෙන් සංස්ථාපනය කෙරිණි. ජපාන මෝටර් රථ තාක්ෂණයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1949 දී ඩ්‍රීම් ඩී-ටයිප් නමින් 98cc ද්වි-පහර එන්ජිමක් සහිත පූර්ණ මෝටර් සයිකලයක් හඳුන්වා දීමට ද ඔවුහු සමත් වූහ.

මේ ගමනේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ 1949 දී සොයිචිරෝට ටකේඕ ෆුජිසාවා මුණගැසීමත් සමඟය. ඉංජිනේරු හා සැලසුම් කටයුතු සොයිචිරෝ විසින් මෙහෙයවද්දී, මූල්‍ය, විකුණුම් සහ අලෙවිකරණ කටයුතු ෆුජිසාවා විසින් භාරගන්නා ලදී. කාන්තාවන්ට පවා ජපානයේ දුෂ්කර මාර්ගවල පහසුවෙන් පැදවිය හැකි එදිනෙදා භාවිතයට සුදුසු යතුරුපැදියක් නිර්මාණය කිරීමේ අදහස ෆුජිසාවාගේ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1958 දී හඳුන්වා දුන් සුපර් කබ් යතුරුපැදිය ඒකක මිලියන 100කට වඩා අලෙවි වෙමින් ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කළ මෝටර් වාහනය බවට පත් විය.

1950 දශකයේ අග භාගය වන විට ලොව ප්‍රමුඛතම යතුරුපැදි නිෂ්පාදකයා බවට පත්ව සිටි හොන්ඩා සමාගම, 1959 දී ඇමරිකා එක්සත් ජනපදයේ සිය පළමු අලෙවි නියෝජිත ආයතනය විවෘත කළේය. 1963 දී මෝටර් රථ නිෂ්පාදනයට පිවිසි ඔවුන් රේසිං තරග සඳහා ද සාර්ථකව එක් විය. ඇතැම් අවස්ථාවල සේවකයන්ට දැඩි ලෙස තරවටු කළත්, දැඩි ධූරාවලියකට වඩා නවෝත්පාදනයට සහ පෞද්ගලික මුලපිරීම්වලට ඉඩ දෙන සංස්කෘතියක් සමාගම තුළ නිර්මාණය කිරීමට සොයිචිරෝ කටයුතු කළේය. ඔහු යන්ත්‍ර පෞද්ගලිකවම පරීක්ෂා කළේය. 1973 දී ඔහු වයස අවුරුදු 66 දී සභාපති ධුරයෙන් විශ්‍රාම ගත් අතර 1991 අගෝස්තු 5 වැනිදා ටෝකියෝ නුවරදී, වයස අවුරුදු 84ක්ව සිටියදී සිය ජීවන ගමන නිමා කළේය.

"සාර්ථකත්වය යනු 'අසාර්ථකත්වය' නමින් හැඳින්වෙන ඔබේ 99%ක වැඩ කොටසින් නිපදවෙන 1%ක ප්‍රතිඵලයකි," යනුවෙන් ඔහු වරක් පැවසීය. "සිහින දැකීම නතර කළ දාට මා මිය යනු ඇත," යැයි කී ඔහු තමා වඩාත්ම උද්යෝගයට පත්වන්නේ යමක් සැලසුම් කර එය අසාර්ථක වූ විට බව විශ්වාස කළේය. මන්දයත්, එම අසාර්ථකත්වය විසින්ම එය නිවැරදි කරගැනීමට අවශ්‍ය අදහස් ඔහුගේ මනසට ගෙන ආ බැවිනි. අසාර්ථකත්වය යනු පරාජයක් නොව අවශ්‍ය දත්තයක් බව විශ්වාස කළ, කම්මල්කරුවෙකුගේ පුතෙකු ලෙස ඉපිද සියල්ල දෙවරක් අහිමි වුවද අඛණ්ඩ උත්සාහයත් ධෛර්යයත් තුළින් ලොව දැවැන්තම සමාගමක් ගොඩනැගූ සොයිචිරෝ හොන්ඩාගේ කතාව, අසීමිත කැපවීමෙන් ඕනෑම අළු ගොඩකින් නැවත නැඟී සිටිය හැකි බවට ලෝකයටම දෙන කදිම ආදර්ශයකි

the-story-of-soichiro-honda-who-built-the-honda-empire-without-giving-up-on-his-dreams-despite-everything-being-destroyed-and-lost

the-story-of-soichiro-honda-who-built-the-honda-empire-without-giving-up-on-his-dreams-despite-everything-being-destroyed-and-lost



the-story-of-soichiro-honda-who-built-the-honda-empire-without-giving-up-on-his-dreams-despite-everything-being-destroyed-and-lost

the-story-of-soichiro-honda-who-built-the-honda-empire-without-giving-up-on-his-dreams-despite-everything-being-destroyed-and-lost