a-man-who-had-come-from-italy-for-a-short-vacation-was-robbed-of-46-million-rupees-worth-of-gold-jewelry-at-the-store

වසර ගණනාවක් ඉතාලියේ රැකියාවක නිරතව සිට කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි පුද්ගලයකු සතු රුපියල් හතළිස් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ වටිනා පෙන්ඩනය සහිත රන්මාලය සොරාගෙන ගිය බව කියන විසි හය හැවිරිදි රූමත් කාන්තාවක වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.




වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් ඔහු සමඟ ඉතාලියේ පදිංචිව සිටින අතර, ඔහු කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටියදී හෝටලයක පැවති සාදයකට සහභාගි වී තිබේ. එම සාදයේදී දැන හඳුනා ගත් කාන්තාව සමඟ වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක හෝටල් කාමරයක් වෙන් කරවාගෙන ඉකුත් පහළොස්වැනිදා එහි ගොස් ඇති බව පොලිසිය පවසයි.

ලැගුම්හල් කාමරයට යෑමෙන් අනතුරුව මුලින්ම කාන්තාව නාන කාමරයට ගොස් පැමිණ තිබේ. ඉන් අනතුරුව ඉතාලියේ සිට පැමිණි පුද්ගලයා තමා පැලඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලය ගලවා කලිසම් සාක්කුවේ දමා නාන කාමරයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. එහෙත් ඔහු නාන කාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ කාන්තාව කාමරයේ නොසිටි අතර, එහි පැමිණි සේවකයකු "සර් සමඟ ආපු කාන්තාව කාමරයෙන් එළියට පැමිණ දිවගිය" බව පවසා ඇතැයි කියති.




ඒ සමඟම කලිසම් සාක්කුව පරීක්ෂා කර බැලූ ඔහුට පෙන්ඩනය සහිත රන්මාලය එහි නොමැති බව දැකගැනීමට ලැබී ඇත. එම කාන්තාව විසින්ම රන්මාලය සොරාගෙන යන්නට ඇති බවට සැකකර ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. අනතුරුව ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි.

වෙන්නප්පුව බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටින අත්අඩංගුවට ගත් විසි හය හැවිරිදි සැකකාර කාන්තාව මාරවිල වාඩිය ප්‍රදේශයේද තාවකාලිකව පදිංචිව සිටින තැනැත්තියකි. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශ මහතාගේ උපදෙස් මත සිදු කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු අනුව මීගමුව කටාන ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී ඇය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම පෙරේදා (22) සිදු වූ බවට මෙන්ම ඊයේ සිදු වූ බවටද වාර්තා වී තිබේ.



සොරාගෙන ගිය පෙන්ඩනය සහිත රන්මාලය උකස් බඩු මධ්‍යස්ථානයකට උකස් කළ බවට සැකකාර කාන්තාව හෙළිකර සිටියේ යැයි පොලිසිය කියයි. හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශ මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ශේෂාන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකාර කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.