අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී අධිකරණ නියෝග නොතකා මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටියදී ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු පොලිස් භාරයට ගත් බලංගොඩ කස්සප ඇතුළු හත්දෙනෙකු එළඹෙන නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙහිදී අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් විශේෂ නියෝගයක් වන්නේ, මෙම සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කරන ලෙස දැනුම් දීමයි. පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ අත්අඩංගුවට පත් පිරිස අතර බලංගොඩ කස්සපට අමතරව තවත් භික්ෂූන් වහන්සේලා තුන් නමක්ද සිවිල් පුද්ගලයින් තිදෙනෙකුද සිටින බවයි.
මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ ඊයේ (12) රුවන්වැලි සෑය භූමියේදී ඇති වූ උණුසුම් හා කළහකාරී සිදුවීම් මාලාවකින් අනතුරුවය. බලංගොඩ කස්සප ඇතුළු පිරිස එම ස්ථානයේ උපවාසයක නිරත වෙමින් සිටියදී, රාජාංගනයේ සද්ධාරතනගේ නායකත්වයෙන් යුත් ගිහි පිරිසක් එතැනට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර දැඩි බහින්බස් වීමක් හටගෙන තිබුණි. මෙම නොසන්සුන්තාවය දුරදිග යාමෙන් උපවාස භූමියේ රැඳී සිටි කස්සප ඇතුළු පිරිස එල්ල කළ ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන හිමිගේ හිස පැලී ලේ ගලන තත්ත්වයක්ද නිර්මාණය විය. ඉන් අනතුරුව, පූජා භූමිය තුළ කළහකාරී ලෙස හැසිරුණු කස්සප ඇතුළු භික්ෂූන් සිව් නම සහ සෙසු පිරිස පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සිද්ධියට පෙර දිනයේදීද (11) බලංගොඩ කස්සප නීතිය හමුවේ වරෙන්තුකරුවකු බවට පත්ව සිටියේය. ඒ, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනාත්මක බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් වන නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණය මඟහැර සිටීම හේතුවෙනි. අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එදින මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
එවැනි පසුබිමක් තුළ ඊයේ රුවන්වැලි සෑය අභියස උපවාස භූමියේ රැඳී සිටිමින් ඔහු අධිකරණයට දැඩිව අපහාස වන අයුරින් ප්‍රකාශ රැසක් සිදු කර තිබීමද විශේෂත්වයකි. ත්‍රිකුණාමලය බුදුපිළිම සිදුවීමට අදාළ නඩු ක්‍රියාවලියේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා නීතිය නොදන්නා බවක් පැහැදිලි වූ බව ඔහු එහිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. තවද, තම නඩුව ඇසීමට එම මහේස්ත්‍රාත් අධිකරණයට කිසිදු බලයක් නොමැති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/4 වගන්තිය යටතේ වෙනම අධිකරණයක් පිහිටුවිය යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඊට අමතරව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නීතිය නොදන්නා බවත් තමා ඔහුට නීතිය උගන්වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. අගමැතිනි හරිනි අමරසූරීය ඉන්දීය බුද්ධි අංශ සාමාජිකාවක බවද ප්‍රකාශ කර තිබුණි.
ජනපති අනුර කුමාර දිසානායකටද අපහාස වන අයුරින් හා අභියෝග කරමින් විවිධ ප්‍රකාශ දිනපතා කියන්නට මෙම පුද්ගලයා කටයුතු කර තිබුණි.
උන්මත්තක ආකාරයට රටේ විශේෂ පුද්ගලයින් ඉලක්ක කර නොගැළපෙන අදහස් සමාජගත කරා සේම ඒවා අනවශ්‍ය ආගමික හා ජාතිවාදී කැළඹීම් ඇති කරන ආකාරයට උලුප්පා පෙන්වීමට සමාජ මාධ්‍ය හා විපක්ෂයට පක්ෂපාත ප්‍රකට පුද්ගලික නාලිකා හවුල් කරගැනීම නිසා මෙම පුද්ගලයා කියන දේවල් රටේ ප්‍රධාන සිරස්තල අතරට පහසුවෙන් ගමන් කර තිබුණි.
විශේෂයෙන්ම අධිකරණ නියෝග නොතකමින් තමන් දේවනම්පියතිස්ස රජුගේ නීතියට පමණක් අවනත යයි කියමින් අනුරපුර භූමියෙන් ඉවත් නොවීම නිසා නීතිය පිළිබඳ විශ්වාසය කඩවීම හා වැරදි පූරවාදර්ශ ලබාදීමටද මෙම පුද්ගලයා කටයුතු කළේය.
අධිකරණය මඟහරිමින් වරෙන්තු ලබා සිටියදී ප්‍රසිද්ධියේ අධිකරණයට අපහාස කිරීමත්, අනතුරුව පූජා භූමියක් තුළ ප්‍රචණ්ඩකාරී ලෙස ගැටුම් ඇතිකර ගැනීමත් හේතුවෙන් නීතියේ රැහැනට කොටු වූ මෙම පිරිසට, එළඹෙන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමින් අධිකරණය නියම කළ මානසික හා මත්ද්‍රව්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්තා සඳහා මුහුණ දීමට මේ අනුව සිදුවනු ඇත.