300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port

ධජයක් නැත, රටක නමක් නැත, අඩුම තරමේ යාත්‍රාවේ නමක් හෝ සඳහන්ව නැත. කිසිදු අනන්‍යතා සලකුණක් නොමැතිව දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම අබිරහස් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගැනීමත් සමඟ, මෙරට මුහුදු සීමාවේ සහ රේගු ගුදම් තුළ ක්‍රියාත්මක වන ජාවාරම් ජාලයන්ට එරෙහි මෙහෙයුම් කිහිපයක තොරතුරු කරළියට පැමිණ තිබේ.




දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගත් එම යාත්‍රාව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරේ. නාවික හමුදාව පැවසුවේ යාත්‍රාවේ සිටි සැකකරුවන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සියලු දෙනා විදෙස් ජාතිකයින් වන නමුත්, ඔවුන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර, අදාළ යාත්‍රාව විදේශීය මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බවට සැක පළ කෙරේ. මෙහෙයුම සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකරුවන් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් මුහුදට දමා ඇති බවට නාවික හමුදාව සැක කරන අතර, මත්ද්‍රව්‍ය සමඟ යාත්‍රාව අද පස්වරුවේ දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ. පී. අරුණ ජයසේකර මහතා පෙන්වා දුන්නේ, යාත්‍රාවේ කිසිදු ධජයක්, රටකට අයත් බවක්, රටක නමක් හෝ යාත්‍රාවේ නමක් සඳහන් වී නොතිබීම එය අත්අඩංගුවට ගැනීමට විශේෂ හේතුවක් වූ බවයි. එම තත්ත්වය මත එය විදේශීය යාත්‍රාවක් බවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සෑහෙන සැකයක් මතු වන බවත් පැවසූ ඔහු, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැනට සිදු කෙරෙන විමර්ශනවල මූලික කරුණුවලින්ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙම යාත්‍රාව යොදාගෙන ඇති බව හැඟී යන බව සඳහන් කළේය. පසුගිය වසරක් පමණ ඇතුළත අණපනත් සංශෝධනය කර ඒවා බලවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට හැකි වූ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, 2025 සහ 2026 වසරවලදී නාවික හමුදාව පමණක් ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම පමණක් බිලියන 116ක් වූ බවද අනාවරණය කළේය.




දකුණු මුහුදේදී මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු වෙද්දී, ගොඩබිම රේගු ගුදමක් තුළද තවත් සූක්ෂම මත්ද්‍රව්‍ය තොගයක් හසු වී තිබේ. මැලේසියාවේ සිට පාර්සල් තුනක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමක තිබී ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මෙම සැක කටයුතු පාර්සල් හඳුනාගෙන ඇති අතර, ඒවා භාර ගැනීමට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් නිලධාරීන් එම පාර්සල් රඳවා ගැනීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, නියමිත කාල සීමාව තුළ කිසිවෙකුත් එම පාර්සල් භාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කෙරුණි. එහිදී පාර්සල් තුළ සඟවා තිබූ හෂිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18,193ක් සොයාගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වීථි වටිනාකම රුපියල් මිලියන 181.9කි.

මේ අතර බටහිර මුහුදු තීරයේදී මුහුද මැද සිදු කිරීමට සැලසුම් කළ නීති විරෝධී භාණ්ඩ හුවමාරුවක් වැළැක්වීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. හලාවත සිට නාවික සැතපුම් 50ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව සමඟ එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව, නීති විරෝධී මෝර වරල් කිලෝග්‍රෑම් 180කට ආසන්න ප්‍රමාණයක් සමඟ දේශීය ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.



එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ, අදාළ මෝර වරල් තොගය ඉන්දීය යාත්‍රාවක් සමඟ බීඩි කොළවලට හුවමාරු කිරීම සඳහා සැලසුම් කර තිබූ බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ සමරක්ෂා නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් වැඩිදුර මෙහෙයුමක් දියත් කළේය. භාණ්ඩ හුවමාරුව සිදු කිරීම සඳහා ඉන්දීය ඩව් යාත්‍රාවක් ඩිංගි යාත්‍රාව වෙත ළඟා වූ අවස්ථාවේදී එම ඉන්දීය යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් සිව් දෙනෙකුද සිය භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ. මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී මෝර වරල් අඩංගු උර හයක් සහ බීඩි කොළ අඩංගු උර 63ක් ඇතුළු උර 69ක් සොයාගෙන ඇති අතර, අදාළ යාත්‍රාද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

දෙවුන්දර දකුණු මුහුදේ සිට හලාවත මුහුදු තීරයත්, පෑලියගොඩ රේගු ගුදමත් දක්වා විහිදුණු මෙම මෙහෙයුම් තුනෙන්ම පෙන්නුම් කරන්නේ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී භාණ්ඩ ජාවාරම් සඳහා ජාත්‍යන්තර මුහුදු මාර්ග මෙන්ම තැපැල් පාර්සල් හා මුහුදු හුවමාරු ක්‍රමවේදද එකවර යොදා ගැනෙන ආකාරයයි.

300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port

300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port



300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port

300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port



300-kilograms-of-drugs-found-on-the-vessel-brought-to-dikowita-port