youth-arrested-for-distorting-photos-of-lord-buddha-and-spreading-them-on-social-media

බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීම සහ ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් වට්ස්ඇප් ඔස්සේ ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කළ 21 හැවිරිදි තරුණයෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (01) නියෝග කළේය.




මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට අයත් ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. ඒ අනුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.එම්. අමෝද්‍ය මධුක තමෝෂ නැමැති සැකකරුවෙකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මෙම වට්ස්ඇප් සමූහය හරහා 2026 නොවැම්බර් මස 19 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරන බවට පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවයි. බුදු දහම මුළු සමස්ත ලෝකයෙන්ම අතුගා දැමීම සියලු දෙනාගේම එකම අරමුණ බවට ද එහි සටහන් කර තිබූ බව නිලධාරීහු වැඩිදුරටත් අනාවරණය කළහ.




අදාළ වෛරී ප්‍රකාශ සහ විකෘති කරන ලද ඡායාරූප හුවමාරු වූ වට්ස්ඇප් සමූහයේ ප්‍රධාන පරිපාලකයෙකු (Admin) ලෙස මෙම සැකකාර තරුණයා කටයුතු කර ඇති බව ද පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. ඊට අදාළ සාක්ෂි වශයෙන් එම සමාජ මාධ්‍ය සමූහයේ සංවාද ඇතුළත් ඡායා පිටපත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉදිරිපත් වූ එම සියලු කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කෙරිණි.