
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, ජනමත විචාරණයක් අවශ්‍ය බවට නිගමනය වී ඇති එහි 17 වැනි වගන්තිය වෙනුවෙන් ජනමත විචාරණයකට එළඹීමට වත්මන් රජය කිසිදු බලාපොරොත්තුවක් නොදක්වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇප අයදුම්පත් සඳහා අදාළ වන මෙම විශේෂිත වගන්තිය කාරක සභා අවස්ථාවේදී මුළුමනින්ම ඉවත් කිරීමට හෝ ඊට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට පියවර ගන්නා බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන්නේ පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාවට පටහැනි වන බවයි. ඒ අනුව එය නීතිගත කරන්නේ නම් 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයක් මෙන්ම 83 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබා ගැනීමද අනිවාර්ය වේ. මෙම තත්ත්වය හමුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුගත වෙමින් පනත් කෙටුම්පතේ ඉතිරි කොටස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගැනීමට රජය කටයුතු කරනු ඇත. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අනාවරණය කළේ මෙම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඔක්තෝබර් මස 8 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පනත් කෙටුම්පතේ තවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකර ඇත. ඒ අනුව පනතේ 3, 4, 6(4) සහ 6(5) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නිගමනය කර ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගැනීමට බාධාවක් නොමැත. එසේම, 88(1)(ඊ) වගන්තිය අලුතින් හඳුන්වා දීමට යෝජිත 11(1) වගන්තිය මෙන්ම, කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට අපේක්ෂිත 11(2) වගන්තිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(අ) හෝ 14අ යන කිසිදු ව්‍යවස්ථාවකට පටහැනි නොවන බැවින් ඒවාද සාමාන්‍ය බහුතර බලයකින් සම්මත කරගැනීමට හැකියාව පවතී.
කෙසේ වෙතත්, පනතේ 6(7) වගන්තිය ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) යන ප්‍රතිපාදනවලට පටහැනි බව අධිකරණය පෙන්වා දී තිබේ. එම නිසා එය සම්මත කිරීමට 84(2) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව තුළ විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. ඊට අමතරව 7 වැනි වගන්තිය ද 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව තීරණය කර ඇති අතර, දැනට පවතින ස්වරූපයෙන්ම එය පවත්වාගෙන යන්නේ නම් 84(2) සහ 82(5) යන ව්‍යවස්ථාවන්ට අනුව ඒ සඳහා ද විශේෂ බහුතරයක අනුමැතිය ලබාගත යුතුව ඇත. තවද, පනත් කෙටුම්පතේ 81(ඉ) වගන්තිය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව ඉල්ලා අස්කර ගත යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් තීරණය කර තිබේ.
