gotabayas-attempt-to-avoid-arrest-is-rejected-by-the-court

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය අත්අඩංගුවට ගැනීමක් වළක්වාලන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශන පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි.




එම රිට් පෙත්සම හරහා ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ මූලික කරුණු සහ නීතිමය පසුබිම සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම තවදුරටත් විභාග කිරීමේ පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ල විසින් නිගමනය කරනු ලැබ ඇත. ඒ අනුව අදාළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.