කාවන්තිස්ස දළ ඇතාගේ ඛේදනීය ඉරණම තීන්දු වූයේ වෙඩි පහරකින් ද, නැතහොත් අධික ලෙස ප්රතිජීවක ඖෂධ ලබා දීමක් හේතුවෙන් ද යන්න පිළිබඳව විද්යාත්මක වාර්තාවක් මගින් කරුණු තහවුරු කරන ලෙස මහව මහෙස්ත්රාත් අධිකරණය බලධාරීන්ට දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්රාත් අනුරාධා සෙනවිරත්න මෙනවිය ඊයේ (28 වැනිදා) නියෝග කළ ද, වනජීවී නිලධාරීන්ගේ විමර්ශන ක්රියාවලියට එහිදී දැඩි අධිකරණමය අභියෝගයක් එල්ල විය.
ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් හෙළි කළේ, තමන් ටෙලි නාට්යයක් රූගත කරන කණ්ඩායමක වෙස් ගනිමින් තේ කඩයක හිමිකරුවකුගෙන් ලබාගත් මූලික තොරතුරක් මත මෙම සැකකරුවන් සහ ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් පදිංචි අඹන්පොළ හුළුගල්ලෑව ගම්මානයේ සැක සහිත නිවාස සෝදිසි කිරීමේදී තවත් නීති විරෝධී ගිනි අවි සහ දඩ මස් සොයා ගැනීමට හැකි වූ බව ද ඔවුහු කියා සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරන බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස වනජීවී නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා මෙම විමර්ශන ක්රියාවලිය දැඩි ලෙස ප්රශ්න කළේය. වනජීවී නිලධාරීන් සැබැවින්ම "ටෙලි නාට්යයක් රඟපා ඇති බව" පැහැදිලිව පෙනෙන්නට ඇතැයි පැවසූ ඔහු, තේ කඩයක සිටි පුද්ගලයකු ලබා දුන් පදනම් විරහිත ප්රකාශයක් නීතිමය සාක්ෂියක් වන්නේ කෙසේදැයි ප්රශ්න කළේය. සැකකරුවන් බන්ධනාගාරගත කර සිටි දින අටක කාලය තුළ සිදු කළ විමර්ශනවල ප්රගතියක් නොමැති බවත්, තම සේවාදායකයන් කාවන්තිස්සට වෙඩි තැබූ බවට එකදු සුළු සාක්ෂියක් හෝ තිබේ නම් එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හෙතෙම අභියෝග කළේය. මෙය හුදෙක් වනජීවී නිලධාරීන් ලකුණු දමා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයක් බවට චෝදනා කළ නීතිඥවරයා, කිසිදු සාක්ෂියක් නොමැතිව සමාජ මාධ්ය හරහා තම සේවාදායකයන් අපරාධකරුවන් බවට ජනගත කිරීමෙන් ඔවුන්ගේ රැකියාවලට සහ පවුල්වලට බරපතළ අගතියක් සිදුව ඇති බව ද පෙන්වා දුන්නේය. ඇතෙකු යනු පොදු දේපළක් බවට ප්රකාශ වුව ද එය මෙතෙක් නීතිගත කොට නැතැයි ද ඔහු දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ප්රකාශ කළේය.
මේ අතර කාවන්තිස්සගේ මරණය පිටුපස ඇති සැබෑ ඛේදවාචකය පිළිබඳව පරිසර සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගෙන් එල්ල වූයේ බරපතළ හෙළිදරව්වකි. ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්රී ලංකා ශාඛාව නියෝජනය කළ නීතිඥ විජිත වික්රමනායක සහ සඳගිරි බණ්ඩාර යන මහත්වරුන් අවධාරණය කළේ, කාවන්තිස්සට වෙඩි තැබීම හුදෙකලා සිද්ධියක් නොවන බවත්, මෙම මරණය සාමූහික පිරිසකගේ නොසැලකිල්ල සහ අකාර්යක්ෂමතාව නිසා සිදුවූවක් බවත්ය. ඊටත් වඩා කම්පනයක් දනවමින් ඔවුහු අධිකරණයට ප්රකාශ කළේ, ඇතාගේ මරණයට හේතුව අධික ලෙස ඖෂධ ලබා දීමක් බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම ඝාතන සිද්ධිය දෙස් විදෙස් වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව 'සුරකිමු අලි ඇතුන්' සංවිධානය වෙනුවෙන් කරුණු දැක්වූ රවින්ද්ර ඉරුගල්බණ්ඩාර මහතා පැවසීය. කාවන්තිස්සගේ පාදයකට සහ උදරයට වෙඩි වැදී ඇති බව ප්රකාශ කළ ඔහු, වනජීවී නිලධාරීන් පවසන පරිදි වෙඩි තැබීම ඇසින් දුටු සාක්ෂිකරුවකු සිටී නම් ඔහුට නිසි ආරක්ෂාවක් සලසා අදාළ ප්රකාශ ලබා ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්රාත්වරිය, සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත හෝ මුදාහරින ලෙසට කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ ද, විමර්ශන ක්රියාවලිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැඩි කොන්දේසි පැනවුවාය. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් ගිනි අවි සහ උණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා පවත්වා ඇති විමර්ශන වාර්තාව, කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ මරණයට සැබෑ හේතුව වෙඩි තැබීමක් ද නැතහොත් අධික ප්රතිජීවක ඖෂධ ලබා දීම ද යන්න තහවුරු කරන විද්යාත්මක වාර්තාව ලබන නඩු දිනයේදී නොවරදවාම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ඇය නියෝග කළාය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්නම් ඒ කෙසේද යන්න සාක්ෂි සහිතව ඊළඟ නඩු දිනයේදී වාර්තා කළ යුතු බවට ද නියෝග කෙරිණි. එසේ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් සහ විමර්ශන මන්දගාමී බව හැඟී ගියහොත්, එම තත්ත්වය සැකකරුවන්ට වාසි සහගත බවට සලකා කටයුතු කිරීමට අධිකරණයට සිදුවන බව ද මහෙස්ත්රාත්වරිය වනජීවී නිලධාරීන්ට තරයේ දැනුම් දුන්නාය.
මීට අමතරව, විමර්ශන සිදු කරන වනජීවී නිලධාරීන් අඹන්පොළ හුළුගල්ලෑව ගම්මානයේ ජනතාවට තර්ජනය කරමින් බලහත්කාරයෙන් සාක්ෂි රැස් කරන බවට ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික ලේකම්ගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන ලෙස අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙරිණි. කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන කිසිදු කරුණක් නඩුවට අදාළ නොවන බව සියලු පාර්ශ්වයන්ට අවධාරණය කළ මහෙස්ත්රාත්වරිය, යුක්තිය රඳා පවතින්නේ තහවුරු කළ සාක්ෂි මත පමණක් බවට සමස්ත ක්රියාවලියටම පැහැදිලි පණිවිඩයක් ලබා දෙමින් නඩු විභාගය කල් තැබුවාය.