indian-engineer-arrested-in-katunayake-with-drugs-worth-rs-454-million

පැරිස් නුවර සිට දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණි 46 හැවිරිදි ඉන්දීය ජාතික ඉංජිනේරුවරයෙකුගේ ගමන් මලු තුළ සඟවා ගෙන ආ රුපියල් මිලියන 454ක (රුපියල් කෝටි 45කට අධික) ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. කටුනායක ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වැටලීම මෙය බව කියැවේ.




ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් 28 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මගියාගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මෙම කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කිලෝග්‍රෑම් 5.121ක් (ග්‍රෑම් 5,121) බරැති කොකේන් ඇතුළත් වන අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256කි. මීට අමතරව කිලෝග්‍රෑම් 13.173ක බරින් යුත් එක්ස්ටසි මත්පෙති 23,000කට ආසන්න ප්‍රමාණයක් ද එම ගමන් මලුවල තිබී සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 198ක් ලෙස ගණනය කර තිබේ.




වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙම සැකකාර මගියා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මේ වනවිට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් රඳවාගෙන සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් මූලික විමර්ශන සිදුකරනු ලබන අතර, ඉන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ පුළුල් විමර්ශන කටයුතු සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.