ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව ඉෂාරා සෙව්වන්දි සහ පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මන්දිණු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ යන සැකකරුවන්ගේ දුරකථන සංවාද ඔස්සේ තීරණාත්මක සාක්ෂි රැසක් අනාවරණය වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත පසුගිය 02 වැනිදා දැනුම් දෙන ලදී.
මෙම සැකකරුවන් දෙපළගේ දුරකථන හඬපට රජයේ රස පරීක්ෂකවරයා ලවා වෝහාරික පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව, ඝාතනයට පෙර ඔවුන්ගේ සැලසුම් මෙන්ම ඝාතනයෙන් පසු ඔවුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇත. මෙම කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම අරමුණු කරගනිමින්, ඉෂාරා සෙව්වන්දි සහ කෙහෙල්බද්දර පද්මේ යන අයගේ කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අවසර ලබා දෙන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළදී ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට අදාළව සැකකරුවන් 45 දෙනෙකුට එරෙහිව පවතින නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. එහිදී එක් සැකකාරියක් පමණක් සෘජුවම අධිකරණයේ පෙනී සිටි අතර, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අනෙකුත් සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කර ගන්නා ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ සැකකරුවන් දෙදෙනා කටහඬ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර ලබා දුන් අතර, ඔවුන් එළඹෙන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමටත් නියෝග කළේය.

