හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ සහ අභාවප්‍රාප්ත ප්‍රකට ව්‍යාපාරික අතුල සේනානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියයන විට 41 වැනි වියේ පසුවිය. සේනානායක යුවළගේ දරුවන් ගෙන් වැඩිමලා වූ ඒ මහතා දේශපාලන ක්ෂේත්‍රය තුළ ද සක්‍රීයව නිරත වූ චරිතයකි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් විවිධ දේශපාලන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන් කනිෂ්ක සේනානායක මහතා, 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය යටතේ තරග වැදීමට ද කටයුතු කළේය.
කනිෂ්ක සේනානායක මෑත කාලීන සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ ඔහු තුළ දේශපාලනයට පිවිසීමේ අදහස කලක පටන් පැවති බවත් විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් ඔහුගේ මව විසින් සිදු කරන ලද සමාජ සේවාවන් ඔහුගේ දේශපාලන ගමනට ප්‍රබල ආභාසයක් වී එය සිදු කිරීම අපේක්ෂා කළ බවත්ය.
කනිෂ්කගේ සීයා හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක වූ අතර, මිත්තණිය මායා යනු නාලන්දා විද්‍යාලයේ නිර්මාතෘ පී. ද එස්. කුලරත්න මහතාගේ දියණියයි. තිසක්‍යා සහ රාධ්‍යා ඔහුගේ නැගණියන් දෙදෙනාය.
දුමින්දු කණිෂ්ක සේනානායක නමින් ආයතනික ලේඛනවල සඳහන් වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ජාත්‍යන්තර පාසල (CIS) යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා ඇත.
අමෙරිකාවේ ටැම්පා විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පදනම් උපාධියක් ද ලබා ඇති ඔහු 2009 නොවැම්බර් සිට 2013 මැයි දක්වා හොල්සිම් ලංකා සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කළේය.
2018 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වූ ඔහු, ඊ-චැනලින්, සෙරන්ඩිබ් ඉංජිනේරු සමාගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මොබිටෙල් සහ SLT දේපළ කළමනාකරණ ආයතනය යන ආයතනවල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළේය.
2020 අගෝස්තු 9 වැනිදා වයස අවුරුදු 64ක්ව සිටියදී හදිසි රෝගාබාධයකින් පියා මිය යාමෙන් පසු කණිෂ්ක සහ ඔහුගේ සොහොයුරියන් විසින් පියාගේ ව්‍යාපාර කටයුතු භාර ගත්හ.
2017 වසරේ බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී ද කණිෂ්ක සේනානායක මහතාගේ නම එක් අවස්ථාවක ප්‍රකාශයට පත්විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නුවන් සල්ගාදු විසින් කොමිසමට ලබා දුන් 2016 අගෝස්තු මාසයට අදාළ දුරකථන සංවාදයක හඬ පටයකට අනුව, කෝප් කමිටු ලිපි ලේඛන අර්ජුන් ඇලෝසියස් වෙත ලබා දුන්නේ 'රෝසිගේ පුතා' වන කණිෂ්ක සේනානායක විසින් යැයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන පවසන බව සඳහන් විය.
කෙසේ වෙතත් රෝසි සේනානායක මහත්මිය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අතර 2015 අගෝස්තු මැතිවරණයෙන් පසු තමන් කෝප් කමිටුව නියෝජනය නොකළ බව ද පැවසුවාය.
