vihara-mahadevi-should-be-made-to-wear-the-kathina-robe---court-report-on-the-satyagraha-motion

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් 22දා ලබා දී තිබූ ආඥාව වෙනස් කළ නොහැකි බවත් අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් අවශ්‍ය පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (23 දා) නියෝග කළේය.




විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහ සිදුකරන පිරිස සහ නිතීපතිවරයා විසින් ඊයේ දින මෝසම් පත්‍ර දෙකක් ගොනු කර තිබුණි.

ඉන් සත්‍යග්‍රහයේ නිරත පිරිස සිය මෝසම් පත්‍රය ගොනු කරමින් පෙරේදා දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස මෙලෙස ඉල්ලා තිබුණි.




නීතිපතිවරයා වෙනුවෙන් ඉල්ලා තිබූ මෝසම් පත්‍රය මගින් දක්වා තිබුණේ පෙරේදා දින අධිකරණයෙන් ලබා දුන් නියෝගය කියවා දුන් පසුත් එම ප්‍රදේශයේ රැඳී සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසය.

එම අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීමට තරම් දෙයක් එම ස්ථානයේ සිදු වී නොමැති බව පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.



විරෝධතාවය පළ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බව මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස පවසා සිටියේය.

“ස්වාමීනි, විහාර මහාදේවී උද්‍යානයේ බුදුපිළිම පර්යන්තය තමයි අපි රැඳිලා ඉන්නේ. පොදු දේපළ කිසිම දෙයකට හානියක් කරලා නැහැ. දවස් හතක් එක දිගට ඉන්නවා. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. විරෝධතාවය පළ කිරීමට හිටියට නීතියට අවනතව අපි කටයුතු කරනවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස මහතා පවසා සිටියේ මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් පෙරේදා දින 106 වගන්ති ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇති බවය.

රජයේ නීතිඥ කලණ බුද්ධදාස වැඩිදුරටත් අධිකරණයට මෙලෙස කරුණු දැක්වීය.

“ඊයේ දින 106 වගන්තිය ප්‍රකාරව ආඥාවක් නිකුත් කරල තිබෙනවා, මෙම සිද්ධියට අනුව. පැමිණිල්ල ඇවිල්ල තියෙන්නෙ නාගරික කොමසාරිස්වරයාගෙන්. පැමිණිල්ලේ මුල් පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කරනවා. පෙරේදා දිනයේ දී එම නියෝගය කියවා දීමේ දී ශබ්ද විකාශන යන්ත්‍රය හරහා පිරිත් දාලා කඩාකප්පල් කළා. පොලිසිය සිද්ධිය පැහැදිලි කළා. මෙම ස්ථානයට දේශීය වගේම විදේශීය පුද්ගලයන් එනවා. පොදු ස්ථානයක්. විරෝධතා දක්වන එක මූලික අයිතිවාසිකමක් තමයි. හැබැයි මේ අය මෙතැන රැඳී සිටින්නේ 16 වැනිදා ඉඳලා.

“පොලිසිය විටින් විට කිව්වා එම ස්ථානයේ එක දිගට රැඳී සිටින්න බැහැ කියලා. ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි උදේට දවල්ට දානෙ පිරිනමන කට්ටියත් එනවා. තවද මෙම ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධයට විවිධාකාර පුද්ගලයන් එකතු කරගන්නවා. ආගමික නිදහස කියලා අන් අයට බාධා ඇති කරන්න බැහැ. දීර්ඝ කාලීන ලෙස මෙම ස්ථානවල රැඳී සිටීමෙන් වෙනත් දේශපාලනික සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි.

මහෙස්ත්‍රාත්වරයා

එම ශබ්ද විකාශන භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවෙන් අවසර ලබා ගෙන තිබේද?

රජයේ නීතීඥවරයා –

“නැත. ස්වාමීනි. එම ස්ථානයේ මහසොහොන් යාගයකුත් කරලා. ඒ වගේ ක්‍රියාවලින් මහජනතාව පීඩාවට පත්වෙනවා.



මහෙස්ත්‍රාත්වරයා-

මම ඊයේ ලබාදුන් නියෝගයේ තිබෙන්නේ අඛණ්ඩව රැඳී නොසිටින ලෙසත් පොදු දේපළවලට හානි නොකරන ලෙසයි.”

විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා-

“පූජෝපාකාර වගේ දේවල් සිදු කරනවා. මහසෝන් යාගයත් කියන්නේ සංස්කෘතියේ දේවල්. බුදුපිළිම පර්යන්තයේ තමයි අපි සිටින්නේ. එසේ සිට විරෝධතා දැක්වීමට අපට අවසර ලබා දෙන්න.

මහෙස්ත්‍රාත්වරයා

දින කීයක් තව මේ විරෝධතාවය තිබේද?

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා-

ඒක මම දන්නෑ ස්වාමීනී. ස්වාමීන් වහන්සේලා තමයි ඒක තීරණය කරන්නේ.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා-

“ස්වාමීනි මේ විරෝධතාව කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මෙයාලා කියනවානේ මේ විරෝධතාවයේ යන්නේ වැඩසටහනක් කියලා. වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් ඒ බල ප්‍රදේශයේ අයිති මහ නගර සභාවේ අවසර ගන්න ඕනි. තොවිලයක් නැටුවත් වැඩසටහනක්. මොකද ස්වාමීනි මෙම ස්ථානයට පිහි දෙකක් රැගෙන ඇවිල්ලා ඒ දෙන්නට ද ඇප ලබා දීලා තිබෙනවා. විරෝධතාකරුවන්ටමයි මේවගෙන් ප්‍රශ්න ඇතිවෙන්නේ. දණ්ඩ නීති සංග්‍රහය 105 වගන්තියට අකීකරු වීම වරදක්. එම වගන්තියට කීකරු වී ඇවිල්ලා මෙහෙම ඉල්ලනව නම් කමක් නෑ. ස්වාමීනි මේක අධිකරණයට කරන ලද අපහාසයක්. එම නිසා එම ආඥාව ඉවත් නොකරන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා-

“ස්වාමීනි කඨින චීවර සකස් කිරීමක් තමයි මේ දවස්වල සිදුවන්නේ. ඒ සඳහා අවසර ලබා දෙන්න.

මහෙස්ත්‍රාත්වරයා-

දෙපාර්ශවයේම ඉදිරිපත්වූ කරුණු සලකා බලනවා. මම ඊයේ දින ලබා දුන් 126 වගන්ති ප්‍රකාරය නියෝගය වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. එහි දක්වා තිබෙන්නේ අඛණ්ඩව රැඳී සිටීමෙන් පොදු දේපළවලට හානි සිදුවීම සම්බන්ධයෙන්. මම දන්නෙ නෑ කඨින චීවර පිළියෙල කිරීමට මෙම ස්ථානයේ සිදු කරන්නේ ඇයිද කියලා. යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් එම ආයතන භාර කෙනෙක් ඉන්නවා. එයාලගේ යම් යම් නීති තියෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. මම මෙම නියෝගය ලබා දී තිබෙන්නේ මහජන සාමය ගැන සලකලා. එම නිසා ලබා දුන් නියෝගය වෙනස් කළ නොහැකියි.

සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්‍යාන පරිශ්‍රයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත පිරිස වෙත නිකුත් කළ අධිකරණ නියෝගයට එරෙහිව ඊයේ (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබුණි.

මෙලෙස කරුණු වාර්තා කිරීම සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ තවත් හිමිවරු පිරිසක් අධිකරණ පරිශ්‍රය වෙත වැඩම කළහ. මීට අමතරව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්‍ය තීනියාවල පාලිත හිමි මෙන්ම පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි යන හිමිවරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.