batuwatte-chamaras-hidden-weapons-discovered-in-a-cemetery

විදේශ රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මව්බිමට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පාපොච්චාරණයක් මත, රාගම පොලිස් වසමට අයත් බටුවත්ත පොදු සුසාන භූමියේ වළදමා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ. ප්ලාස්ටික් බටයක් තුළ සඟවා භූගත කර තිබියදී මෙලෙස සොයාගෙන ඇත්තේ විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක්, ඊට අයත් මැගසිනයක් සහ ජීව උණ්ඩ 24ක් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.




මෙම තොරතුරු හෙළි කර ඇත්තේ 'බටුවත්තේ චාමර' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලියනගේ මනෝජ් සුරංග නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. අසර්බයිජාන් රාජ්‍යයේ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබීය. ඉකුත් මැයි මස 05 වැනිදා ඔහු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු, මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් දෙවන 90 දින රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කරමින් සිටියි.

සුසාන භූමියෙන් ගොඩගත් ගිනි අවියේ හඳුනාගැනීමේ අංකය අපැහැදිලි තත්ත්වයක පවතින බව පොලීසිය පවසයි. කෙසේ වෙතත්, මෙම සැකකරුගෙන් මීට පෙර සිදුකළ ප්‍රශ්න කිරීම් හරහාද පාතාල ක්‍රියාකාරකම් රැසක තොරතුරු අනාවරණය කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනයට අදාළව ගම්පහ ඔස්මන් ඇතුළු තවත් සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ද මෙම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු මත බව පොලීසිය තහවුරු කරයි.




මෙම මෙහෙයුම සහ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.