update-private-bus-that-damaged-happa-metro-bus-twice-banned-from-travelling

මගී ප්‍රවාහනය සඳහා අලුතින් එක් කෙරුණු මෙට්‍රෝ බස් රථ ඉලක්ක කරගනිමින් ඇතැම් පෞද්ගලික බස් රථ දියත් කර ඇති බව කියන කඩාකප්පල්කාරී ක්‍රියා මාලාවක ප්‍රතිඵලයක් ලෙස, අතුරුගිරිය ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයකට තාවකාලික ධාවන තහනම් නියෝගයක් පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.




පසුගිය 08 වැනිදා අලුයම 5.20ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදීය. අතුරුගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වන 'NC-9510' දරණ පෞද්ගලික බස් රථය, බස් නැවතුම්පොළේ නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි සිට අතුරුගිරිය හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ 'CM 02' දරණ මෙට්‍රෝ බස් රථයේ ගැටී තිබේ. අනතුර සිදුවීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික බස් රථය පැය භාගයක පමණ කාලයක් මාර්ගය හරස් කරගෙන සිටීම හේතුවෙන් උදෑසන රාජකාරි සඳහා පිටත්ව ගිය මගීහු දැඩි අපහසුතාවකට පත්වූහ.

මෙම සිදුවීම හුදකලා අනතුරක් නොවන බවට ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම අනතුරට දින තුනකට පෙර, අදාළ පෞද්ගලික බස් රථය විසින්ම හිතාමතාම මෙට්‍රෝ බස් රථයක පැති කණ්ණාඩියක් කඩා දමා ඇති බවට වාර්තා වේ. පළමු අවස්ථාවේදී අදාළ බස් රථයට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් මෙම දෙවන අනතුර වළක්වා ගැනීමට ඉඩ තිබූ බවට මේ වන විට මතයක් නිර්මාණය වී තිබේ. මහජන බදු මුදලින් නඩත්තු වන මෙවැනි පොදු දේපළ විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්, ඊට සම්බන්ධ බස් මාෆියාවට එරෙහිව පුළුල් පරීක්ෂණයක් පවත්වා දැඩි දඬුවම් ලබාදිය යුතු බවටත් අදහස් පළ වී ඇත.




අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ අදාළ පෞද්ගලික බස් රථය විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී එම බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බව තහවුරු වීම හේතුවෙන්, මෝටර් රථ පරීක්ෂකවරයා විසින් මෙම තාවකාලික ධාවන තහනම පැනවීමට කටයුතු කර තිබේ.

මේ අතර, අනතුරට සම්බන්ධ බස් රථ දෙකෙහිම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කර ඇති අතර, කිසිදු රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදුවන ආකාරය පැහැදිලිව සටහන් වී ඇති සීසීටීවී දර්ශන ද සමඟින් මෙම සිද්ධියට අදාළ සියලු කරුණු අද (09) දිනයේ කඩුවෙල අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතව ඇත.

update-private-bus-that-damaged-happa-metro-bus-twice-banned-from-travelling

update-private-bus-that-damaged-happa-metro-bus-twice-banned-from-travelling



update-private-bus-that-damaged-happa-metro-bus-twice-banned-from-travelling