former-colombo-chief-magistrate-thilina-gamage-suspended-from-duty

වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් මෙන්ම මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාව සිය ධුරයෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ, ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයේදී එල්ල වී තිබූ සියලුම චෝදනාවලට ඔහු වරදකරු බවට නිගමනය වීම හේතුවෙනි.




කලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ඔහුට සිය වෘත්තීය ගමන් මඟේ දැඩි හැරවුම් ලක්ෂයකට මුහුණ දීමට සිදුවූයේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදීය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයේ රාජකාරි කරමින් සිටියදී අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම ඔහුව මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර මාරුකර යවනු ලැබීය. ඉන් මාස කිහිපයකට පසු, එනම් 2025 වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය මුළුමනින්ම අත්හිටුවීමට කොමිසම පියවර ගත්තේය.

ඔහුගේ මෙම හදිසි ස්ථාන මාරුව සිදුවූ 2024 දෙසැම්බර් මාසයේදීම ඔහුගේ සහෝදරයා වූ සලෝචන ගමගේ සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක සිදුවීමක් ද වාර්තා විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එම මාසයේදීම අත්අඩංගුවට පත්විය.




තිලිණ ගමගේ මහතාගේ විනිසුරු භූමිකාව තුළ මෙලෙස වැඩ තහනමකට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2015 වසරේදී ද නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව නඩුවක් හේතුවෙන් ඔහු වැඩ තහනමට ලක්විය. කෙසේ වෙතත්, එම අපරාධ නඩුවට අදාළව එල්ල වූ චෝදනාවලින් ඔහුව 2021 වසරේදී නිදහස් කෙරිණි. එලෙස චෝදනාවලින් නිදහස් වී යළිත් අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු දැරූ ඔහු, මෙවර විනය පරීක්ෂණයකින් සියලු චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව මෙලෙස සිය ධුරයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීමට ලක්ව තිබේ.