uk-prostitute-murdered-in-dexter-imitation

ඇමරිකානු රූපවාහිනී අපරාධ කතාමාලාවක් වන 'ඩෙක්ස්ටර්' (Dexter) හි දැඩි රසිකයෙකු වූ වෝර්සෙස්ටර් විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන 20 හැවිරිදි බෙන්ජමින් ඩේ නමැති සිසුවෙකු විසින් ලිංගික ශ්‍රමිකයෙකු වූ මාරියා සසියානු නමැත්තියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබේ. ඔහු විසින් ටිවිඩේල් හි පිහිටි එයාර්බීඑන්බී (Airbnb) නිවාසයක රූපවාහිනී කතාමාලාවේ එන ආකාරයේ 'ඝාතක කුටියක්' (kill room) සකස් කර මෙම අපරාධය සිදු කර ඇති බව පැමිණිල්ල විසින් අධිකරණයට දන්වා ඇත.

එහිදී වින්දිත කාන්තාවට 78 වතාවක් පිහියෙන් ඇණ ඇති අතර, ඉන්පසුව ඇයගේ සිරුර කොටස් වලට කැපීමටද ඔහු උත්සාහ කර තිබේ.




පැමිණිල්ල මෙහෙයවූ නීතිඥ රේචල් බ්‍රෑන්ඩ් අධිකරණයට ප්‍රකාශ කළේ, චූදිතයා විසින් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර සිරුර විනාශ කිරීම සඳහා ඉතා සූක්ෂමව සැලසුම් කර තිබූ බවයි. ඔහු සිය ජංගම දුරකථනයේ ඝාතනයට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් මාසයකට පමණ පෙර සිටම සකසා තිබූ අතර, ඊට පිහි, කතුර, මුහුණු ආවරණ, ප්ලාස්ටික් ආවරණ, ඩක් ටේප්, පිරිසිදුකාරක රසායනික ද්‍රව්‍ය සහ අන්වීක්ෂ ස්ලයිඩ වැනි දෑ ඇතුළත් වී තිබී ඇත. පසුගිය දෙසැම්බර් 20 වැනිදා රාත්‍රියේදී ඩේ විසින් මාරියාට කෙටි පණිවිඩයක් යවා ඇයව අදාළ නිවසට ගෙන්වාගෙන ඇති අතර, ඊට පෙර සවස 5.30 පමණ සිට ඔහු එම කාමරය අපරාධය සඳහා සූදානම් කරමින් සිටි බව හෙළි වී තිබේ.

මෙම ඝාතනය සහ 'ඩෙක්ස්ටර්' කතාමාලාව අතර ඇති දැඩි සමානකම් රැසක් අධිකරණයේදී සාකච්ඡාවට ලක්විය. රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය මෙන්ම පොලිසියේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ රැකියාවක් කිරීමේ අරමුණින් බෙන්ජමින් ඩේ සිය පුවත්පත් කලාව පිළිබඳ උපාධි පාඨමාලාව වෙනස් කර ව්‍යවහාරික ජීව විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යොමු වී ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පවා ඔහු රූපවාහිනී චරිතය නිතර අඳින ආකාරයේ ඇඳුමකින් සැරසී සිටි බව වැඩිදුරටත් අධිකරණයේදී අනාවරණය විය.




වින්දිත කාන්තාවගේ සිරුර කැපීමට උත්සාහ කිරීමේදී ඩේගේ අතකට තුවාල සිදුවී ඇති අතර, පසුව ඔහු සුනඛයෙකු හෝ නරියෙකු සපා කෑ බව පවසා ඩඩ්ලි හි රෝහලකට ඇතුළත් වී ඇත. මේ අතරතුර, එම එයාර්බීඑන්බී නිවසේ වෙනත් කාමරයක රැඳී සිටි අමුත්තෙකුට ලේ සලකුණු දැකගන්නට ලැබී ඒ බව නිවාස හිමියාට දැනුම් දීමෙන් පසු ඔවුන් පොලිසිය කැඳවා තිබේ. ඒ අනුව, පොලිසිය විසින් නිවසේ තිබී කාන්තාවගේ සිරුර සොයාගත් අතර, අලුයම 3.42 ට පමණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙන්ජමින් ඩේව අත්අඩංගුවට ගෙන ඇත. වෛද්‍ය වාර්තා වලට අනුව ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් කාන්තාව මියගොස් ඇති අතර, තමන්ට එරෙහිව ඇති මිනීමැරුම් චෝදනාව චූදිතයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

uk-prostitute-murdered-in-dexter-imitation