if-the-work-is-serious-and-lasts-more-than-three-years-the-robes-will-be-removed---prison-commissioner

වසර තුනකට වැඩි සිරදඬුවමක් නියම වූ ඕනෑම පුද්ගලයෙකු, ඔහු සමාජයේ කුමන තත්ත්වයක සිටියද, අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී සිටිය යුතු බව බන්ධනාගාර නීති රෙගුලාසිවල දැක්වෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා පවසයි.




බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවන පසුබිමක, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලෙස නිකුත් කළ ප්‍රකාශයක් මගින් ඔහු මේ බව සඳහන් කළේය.

කොමසාරිස්වරයා පෙන්වා දුන් පරිදි, සිරදඬුවම් විඳින කාලය තුළ සිරකරුවෙකු අඳින ඇඳුම තීරණය වන්නේ ඔහුට නියම වූ දඬුවමේ ස්වභාවය අනුවය. ගරු අධිකරණය මගින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, එම දඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගත කිරීමේදී උන්වහන්සේට චීවරයෙන්ම වැඩ සිටිය හැකිය. එහෙත් නියම වී ඇත්තේ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතු බව ඔහු අවධාරණය කළේය.




සිරදඬුවම් ලත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ද දඬුවමේ කාලසීමාව අනුව නීතිරීති වෙනස් වේ. අදාළ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, දඬුවම නියම වීමට පෙර ඇඳ සිටි සිවිල් ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් වීමට බන්ධනාගාර අධිකාරීවරයාට අවසර ලබා දිය හැකිය. එවැනි අවස්ථාවකදී භික්ෂූන් වහන්සේ නමකට ද සිවුර පොරවා අධිකරණයට වැඩම කිරීමට අවසර ලබා දිය හැකි බව කොමසාරිස්වරයා සඳහන් කළේය.

"නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි," යැයි ඔහු පැවසීය.



මේ අතර, දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට සිරදඬුවම් විඳිමින් සිටින බවත්, ඔවුන් ද බන්ධනාගාරය තුළ සිටින්නේ සිර ඇඳුමෙන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.