32-year-old-lecturer-murdered-by-23-year-old-lover

යාපනය නල්ලූර් කෝවිල් වීදියේ නිවසක ඊයේ (05) රාත්‍රියේ සිදුවූ ඝාතනයකින් පසු, ඊට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයකු ද දුම්රියක ගැටී මියයාමේ ඛේදනීය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම් මාලාවත් සමග, මීට වසර තුනකට පෙර සියදිවි හානිකරගත් පියෙකුගේ සෙනෙහස අහිමි වූ දස හැවිරිදි දැරියකට, සිය මව ද සදහටම අහිමි වී තිබේ.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නල්ලූර් කෝවිල් වීදියේ පදිංචිව සිටි තිස් දෙහැවිරිදි එක්දරු මවක් වන ඈන් ලක්ෂා ඉග්නේෂියස් නැමැත්තියකි. සැඟවූ පිහියක් රැගෙන ඊයේ රාත්‍රියේ ඇගේ නිවසට ඇතුළු වී ඇති සැකකාර තරුණයා, ඇයට අඛණ්ඩව පිහියෙන් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. එක් වාර්තාවක දැක්වෙන්නේ ප්‍රහාරය අතරතුරදී ඔහු පිහියෙන් ඇගේ හිසකෙස් ද කපා දමා ඇති බවයි. බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ප්‍රහාරය වළක්වාලීමට දැරූ උත්සාහයේදී ඈන් ලක්ෂාගේ මවට ද සැකකරු විසින් පිහියෙන් පහර දී ඇත. ඉන් බරපතළ තුවාල ලැබූ ඇය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.




මෙම ප්‍රහාරයෙන් පසු පළාගිය සැකකරු, අරියාලෙයි ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මියගොස් සිටියදී සොයාගැනුණු බව යාපනය මූලස්ථාන පොලිසිය තහවුරු කරයි. ඔහු දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව දෙමළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, පරන්තන්, සිවපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි විසිතුන් හැවිරිදි දේවදාස් පුගලරසන් නමැති තරුණයෙකි.

පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට, ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර තරුණයා එකම වෘත්තීය පසුබිමකට අයත් අය වෙති. ඈන් ලක්ෂා යාපනයේ ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කර ඇති අතර, මියගිය තරුණයා ද සූපවේදී පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් පසු පුහුණු සූපවේදියකු ලෙස එම හෝටලයේම සේවය කර තිබේ.



ඝාතනයට ලක්වූ ඈන් ලක්ෂා සිය වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ කාන්තාවකි. ඇය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කරමින් සූපවේදී වෘත්තියේ නිරතවී සිටි බව කියැවෙයි. යාපනය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා සිටි ඇය, මියයන විට ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියක් (MBA) ද හදාරමින් සිටියාය. ඊට අමතරව ඇය මහනුවර විවෘත විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද සම්පූර්ණ කර තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඛේදනීය ඉරණමට හේතුව ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් විය හැකි බවට පොලිසිය සැක කරයි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, සැකකාර තරුණයා සහ මියගිය කාන්තාව අතර සමීප සම්බන්ධතාවක් පැවතී තිබේ. එසේම, මෙම තරුණයා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වන අතරතුර ඇය විදේශයක සිටි පුද්ගලයකු සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, පසුව එය නතර කර වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිස් විමර්ශන උපුටා දක්වමින් වාර්තා වේ.

සිද්ධිය වූ නිවසේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකර තිබේ. ඈන් ලක්ෂාගේ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.

2021 වසරේදී සිය සැමියා සියදිවි හානිකරගැනීමෙන් පසු, නැවත විවාහ නොවී සිය එකම දියණිය සමඟ ජීවත් වූ ඈන් ලක්ෂාගේ හදිසි වියෝවත් සමග, වයස අවුරුදු දහයක් වූ ඒ කුඩා දැරියට ඇගේ පියා මෙන්ම මව ද අනපේක්ෂිත ලෙස අහිමි වී යාමේ ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී තිබේ. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

gossiplanka image 1
gossiplanka image 3
gossiplanka image 4

32-year-old-lecturer-murdered-by-23-year-old-lover

32-year-old-lecturer-murdered-by-23-year-old-lover