
මාලිගාවත්ත ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත පෙදෙසේ පදිංචිව සිටි මොහොමඩ් රෙයිහාන් නැමැති දහසය හැවිරිදි පාසල් සිසුවෙකු සහ මොහොමඩ් අබ්දුල්ලා නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.
මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ දහනව හැවිරිදි සැකකරුවෙකු අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන තියුණු ආයුධය ද සමගින් මේ වන විට මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විමර්ශනවලට අනුව මෙම ඛේදවාචකයට මූලික වී ඇත්තේ පුද්ගලයෙකුගේ මුහුණ දෙස බැලීමක් අරබයා ඇතිවූ ඉතා සුළු සිදුවීමකි. ඝාතනයට ලක්වූ දහසය හැවිරිදි පාසල් සිසුවා තරුණියන් දෙදෙනෙකු ද සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරුගේ මුහුණ දෙස බැලීම හේතුවෙන් මෙම මතභේදය හටගෙන තිබේ. තමාගේ මුහුණ දෙස බලන්නේ මන්දැයි සැකකරු විමසූ අවස්ථාවේදී, ලස්සන නිසා බැලූ බවට මියගිය සිසුවා පිළිතුරු දී ඇති අතර, ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී එය සුළු ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
එම මූලික ගැටුමෙන් පසුව සිය නිවසට ගොස් ඇති පාසල් සිසුවා, තවත් මිතුරන් පිරිසක් ද කැටුව නැවතත් සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ තිබේ. එහිදී යළිත් වරක් ඔවුන් අතර ආරවුලක් හටගෙන එය දුරදිග ගොස් ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු විසින් සිය ඉණෙහි සඟවාගෙන සිටි පිහියක් එකවරම පිටතට ගෙන අදාළ පාසල් සිසුවාටත්, ඔහු සමග පැමිණි විසිඑක් හැවිරිදි තරුණයාටත් දරුණු ලෙස ඇන ඇත.
මෙම පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. කල්‍යාණතුංග මහතාගේ සෘජු උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරංග යසරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
