meewala-grama-niladhari-arrested-for-making-a-fake-id-card-for-karandeniya-suddas-shooter

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කරන්දෙනිය සුද්දාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකුට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා දීමේ චෝදනාව මත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 315 මීවල වසමේ ග්‍රාම නිලධාරිවරයා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ වයස අවුරුදු හතළිස් නවයක් වන නිට්ටඹුව, යටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




මෙම ව්‍යාජ හැඳුනුම්පත සකසා ගෙන ඇති වෙඩික්කරු හිටපු නාවික හමුදා සෙබළෙකු වන අතර, ඔහු කරන්දෙනිය සුද්දාගේ මෙහෙයවීම මත කිසිදු අවස්ථාවක පොලිසියට හසු නොවී වෙඩි තැබීම් හතක් සිදු කරමින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ඝාතනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. පසුගිය 2026 පෙබරවාරි මස 13 වැනිදා තලංගම, අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් අසලදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ටී 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීම ද මොහු අතින් සිදුවූ ප්‍රධාන අපරාධයකි. එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු වන හිටපු යුද හමුදා සෙබළා බද්දේගම අම්පේගම නිවසක් පිටුපස කුරුඳු ඉඩමකදී අත්අඩංගුවට පත් වූ අතර, මෙම නාවික හමුදා සෙබළා මෑතකදී මොණරාගල ප්‍රදේශයේදී නීතියේ රැහැනට කොටු වී ඇත.

මානංගොඩ කම්කානම්ගේ මනෝජ් උදයංග නැමැති මෙම නාවික සෙබළා විසින් "රූබන් සුරේෂ්" යන ව්‍යාජ නම භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය සකසා ගෙන තිබුණි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදු කළ පරීක්ෂණවලදී සැබෑ රූබන් සුරේෂ් නමැත්තා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වූ අතර, ඔහුගේ හැඳුනුම්පත 2025 වසරේ මුල් භාගයේදී ලිඳුල ප්‍රදේශයේදී අස්ථානගත වී ඇති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී තිබේ. සැකකාර නාවික සෙබළා වතුපිටිවල ප්‍රදේශයේ ඡායාරූප ශාලාවකින් සිය ඡායාරූප ලබාගෙන, නිට්ටඹුව පොලිසිය මඟින් නිකුත් කළ බවට ව්‍යාජ ලෙස සකස් කළ අස්ථානගත වීමේ පොලිස් වාර්තාවක් ද අදාළ ග්‍රාම නිලධාරිවරයාට ඉදිරිපත් කර මෙම හැඳුනුම්පත එක්දින සේවය යටතේ ලබාගෙන ඇති බව විමර්ශන මඟින් තවදුරටත් අනාවරණය විය.




අත්අඩංගුවට පත් වූ ග්‍රාම නිලධාරිවරයා දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බවත්, අපරාධකරු විසින් සිය කූට අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔහුවම තෝරා ගන්නට ඇත්තේ ඒ නිසා විය හැකි බවත් පොලිසිය සැක පළ කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට ඒ පිළිබඳව කිසිදු මතකයක් නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, ඔහුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ජානක කුමාර සහ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. කේ. ඉසුරු ශාමික යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. ඊට පොලිස් සැරයන්වරුන් වන 70471 තෙන්නකෝන්, 72613 විජේසුන්දර, 76495 ක්‍රිෂාන්ත, සහ 76947 මංජුල මෙන්ම පොලිස් කොස්තාපල්වරුන් වන 104619 කිත්සිරි, 104701 ජයතිලක, සහ 15079 ජයසිංහ යන මහත්වරුන් ද පරීක්ෂණ සඳහා එක්ව සිටිති.

meewala-grama-niladhari-arrested-for-making-a-fake-id-card-for-karandeniya-suddas-shooter