පෙර පාසල් වියේ පසුවන දරුවන් වෙනුවෙන් විෂයානුබද්ධව පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නීති විරෝධී බව පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි.
පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ එච්.එම්. වසන්ත හේරත් මහතා මේ බව අනාවරණය කළේ මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්රික් කාන්තා සහ ළමා සංවර්ධන කමිටු රැස්වීමක් අමතමිනි. පෙර පාසල් දරුවන් මෙලෙස උපකාරක පන්ති මගින් පීඩාවට පත් නොකළ යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මින් ඉදිරියට නව පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලබා නොදෙන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය. මේ යටතේ සෙවනගල ප්රදේශයේ පැවති පෙර පාසලක් ද මේ වන විට වසා දමා තිබේ. මේ අතර පෙර පාසල් ගුරුවරුන් සඳහා දින පහක වැඩමුළුවක් හරහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති අතර, ඊට එළිමහන් ක්රියාකාරකම් ද ඇතුළත් කර ඇති බව ඔහු ප්රකාශ කළේය.
මීට සමගාමීව, දරුවන් මුහුණ දෙන තවත් අවදානම් තත්ත්වයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. විශේෂයෙන්ම හේන් ගොවිතැන් කරන කන්නය තුළදී නිවෙස්වල තනිවන දරුවන් දැඩි අවදානමකට ලක්වන බව හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වගකීම කාන්තා හා ළමා සංවර්ධන කමිටු විසින් සිදු කළ යුතු බව අවධාරණය කෙරිණි.
එසේම, විදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ සංවර්ධන සැලැස්මක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය විසින් මේ වන විටත් සකස් කර ඇති බවද අදාළ රැස්වීමේදී වැඩිදුරටත් ප්රකාශ විය.