a-bolt-of-lightning-struck-and-took-them-both-away

රඹෑව නබඩගස්වැව වෙල්යායේ ගොවිතැන් කටයුතුවල නිරතව සිටි පිරිසක් දිවා ආහාරය සඳහා ගසක් සෙවණට වී සිටි මොහොතක් එක්වරම මහා ඛේදවාචකයක් බවට පත් වූයේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි. ඒ, ඇදහැලුණු අකුණු සැරයක් හේතුවෙන් තම පවුලේ සම්පූර්ණ බර කරට ගෙන සිටි අභීත මවකගේ සහ ජීවිකාව සොයා පැමිණි තරුණියකගේ ජීවිත ක්ෂණයකින් උදුරා ගනිමිනි.




අනුරාධපුර කල්ලංචිය පොලිස් වසමට අයත් රඹෑව නබඩගස්වැව 10 ඇළ හෙවත් 10 කොලනිය කුඹුරු යායේදී පසුගිය 20 වැනිදා පස්වරු 2.00ත් 2.30ත් අතර කාලයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. කුඹුරේ වැඩ අවසන් කර වැසි බිංදු වැටෙන්නට පටන් ගත් මොහොතේ දිවා ආහාරය ගැනීම සඳහා ඔවුන් ගන්සූරිය ගස් දෙකක් යටට වී සිටියදී මෙම අකුණු සැරය පතිත වී තිබේ. අනතුරින් රඹෑව බොරලුහින්න ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මවක සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඩී.එම්. තුෂාරිකා හෙවත් දුලාරි නමැති තරුණියක් මියගියහ. මියගිය 58 හැවිරිදි මව පොලිස් වාර්තා මගින් කළුආරච්චි හේමාලි ලෙස දක්වා තිබුණද, ඇගේ දියණිය පවසන්නේ තම මව කේ.එච්. මාලනී නමැත්තිය බවයි. එමෙන්ම නබඩගස්වැව පදිංචි 61 හැවිරිදි ගුණපාලගේ රංජනී නමැති කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මෙම බිහිසුණු අනතුර සියැසින් දුටු 66 හැවිරිදි ජී. ගුණදාස මහතා ඒ මොහොතේ රංජනී මහත්මියගේ කුඹුරු කොටස ට්‍රැක්ටරයෙන් සීසාමින් සිටියේය. වසර හැටහයක කෘෂිකාර්මික ජීවිතය තුළ මෙවැනි ඛේදවාචකයක් කිසිදිනෙක දැක නොමැති බව පවසන ඔහු, එම අකුණු සැරය බෝම්බයක් පුපුරනවාක් මෙන් මහා හඬකින් පතිත වූ බව සිහිපත් කළේය. ට්‍රැක්ටරය නගුල දමා ඉදිරියට ගත් සැණින් ඇසුණු ශබ්දයත් සමඟ හැරී බලන විට ගස යට සිටි තුන්දෙනාම එකවර බිම වැටෙනු තමන් දුටු බව ඔහු දැඩි කම්පාවෙන් යුතුව පැවසීය.




අනතුරින් පසු වහාම ක්‍රියාත්මක වූ ගුණදාස මහතා ට්‍රැක්ටරයෙන් බැස දිවගොස් බලන විටත් දෙදෙනෙකුට සිහිය නොතිබූ බව සඳහන් කළේය. කෙසේ වෙතත්, ලියද්දට විසිවී සිටි රංජනී මහත්මියට යන්තම් සිහිය තිබූ බැවින්, ඇයව තම උරහිසට ගෙන ට්‍රැක්ටරයේ නගුල උඩින් වාඩි කරවාගෙන පරිස්සමින් නිවසට රැගෙන ඒමට ඔහු කටයුතු කළේය. අනතුරුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව තුවාලකාරියන් වෑන් රථයකින් සහ මෝටර් රථයකින් රඹෑව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි. එහිදී මව සහ තරුණිය මියගොස් ඇති බව තහවුරු වූ අතර, බරපතළ තුවාල ලැබූ රංජනී මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙම අනතුරින් පුදුමාකාර අයුරින් දිවි ගලවා ගත් අයෙකු ද විය. ඒ මියගිය 26 හැවිරිදි තුෂාරිකාගේ සැමියා වන 26 හැවිරිදි තරුණයාය. ජීවනෝපාය සඳහා කුලී වැඩ සොයා ඇඹිලිපිටියේ සිට නබඩගස්වැව ප්‍රදේශයේ මාලනී මහත්මියගේ නිවසේ නවාතැන් ගෙන සිටි මෙම යුවළට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත. අකුණ පතිත වීමට සුළු මොහොතකට පෙර ඔහු කෑම කා අවසන් වී වැස්සට තෙමීමට පෙර යතුරුපැදිය ගැනීම සඳහා මඳක් ඔබ්බෙන් වූ ගල් සහිත ප්‍රදේශයකට ගොස් තිබුණි. යතුරුපැදිය කෙළින් කරමින් සිටි ඒ කෙටි කාලය තුළ අකුණ පතිත වීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරුණද, අකුණු සැරයත් සමඟ නැඟුණු මහා දුමාරය මැදින් තම බිරිඳ ඇතුළු තිදෙනා තුන් පැත්තකට විසිවී යන බිහිසුණු දසුන සියැසින් දැකීමේ අවාසනාව ඔහුට අත්විඳීමට සිදුවිය.



තම රෝගී පියාගේ සහ පවුලේ සම්පූර්ණ බර කරට ගෙන කටයුතු කළ 58 හැවිරිදි මවගේ වියෝව ඇගේ දියණිය වන 26 හැවිරිදි ඉෂාරා මධුභාෂිණීට කිසිසේත්ම දරාගත හැක්කක් නොවේ. පියා අසනීප වූ පසු ගෙදර ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ගොවිතැන් කටයුතුවල නිරත වූ මව, ලබන මස 08 වැනිදා සිය උපන්දිනය සැමරීමට ද සූදානමින් සිටියාය. අසනීප තත්ත්වයන් ගණනාවක් තිබියදීත් ඇඟේ හයියට වඩා හිතේ හයියෙන් වැඩ කළ තම මව මෙලෙස අකුණකින් මියයාවි යැයි තමන් කිසිදිනෙක හීනෙකින්වත් නොසිතූ බව ඇය කඳුළු සලමින් පැවසුවාය. තම නිවසේ නතර වී සිටි අහිංසක තරුණියගේ ජීවිතය ද අකුණට බිලිවීම සම්බන්ධයෙන් ඇය දැඩි සේ කම්පාවට පත්ව සිටින්නීය.

අනුරාධපුර කල්ලංචිය පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. දහඩිය වගුරවමින් මහපොළොවත් සමඟ ඔට්ටු වූ ධෛර්යසම්පන්න මවකගේ සහ අනාගතය ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන් කුලී වැඩට පැමිණි තරුණියකගේ ජීවිත අකුණු සැරයකින් මෙලෙස නිවී යද්දී, එම හදිසි වියෝව පවුල් දෙකකට පමණක් නොව මුළු ප්‍රදේශයටම කිසිදා නොමැකෙන ශෝකාන්තයක් ඉතිරි කර තිබේ.

a-bolt-of-lightning-struck-and-took-them-both-away