the-murder-of-mount-view-guest-owner-nimal-kosgolla-is-a-mystery

දකුණු කොරියාවේ වසර අටක පමණ කාලයක් සේවය කර උපයාගත් මුදලින් ත්‍රිකුණාමලයේ අලංකාර හෝටලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය, එම හෝටල් භූමිය තුළදීම අතිශය ඛේදනීය ලෙස නිමාවට පත්වීමේ පුවතක් පසුගිය 20 වැනිදා රාත්‍රියේ වාර්තා විය. ත්‍රිකුණාමලය, සිංහපුර හතර කණුව ප්‍රදේශයේ පිහිටි 'මවුන්ට් විව් ගෙස්ට්' නමැති මෙම හෝටලයේ හිමිකරු වූ ඔහු, කිසියම් නාඳුනන පිරිසක් විසින් ගෙල කපා ඝාතනය කර තිබියදී සොයාගනු ලැබුවේ හෝටලයට අයත් කබානාවක් ආසන්නයේ තිබියදීය.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පනස් හතර හැවිරිදි වියේ පසුවූ ඩබ්ලිව්.කේ. නිමල් කොස්ගොල්ල නමැති අවිවාහක පුද්ගලයෙකි. මහනුවර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන ඔහු, කොරියාවේ රැකියාව නිමවා පැමිණීමෙන් පසු මෙම හෝටලය ඉදිකර එය පවත්වාගෙන යමින් එහිම කාමරයක නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි.

මෙම කෲර ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ හෝටලයට නුදුරින් පදිංචිව සිටින ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ ඥාති සහෝදරියකට ඇතිවූ සැකයක් මත කළ සොයාබැලීමකදීය. 20 වැනිදා රාත්‍රියේ ඇය ඔහු නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ විපරම් කර බැලීමේදී එහි ලේ පැල්ලම් කිහිපයක් තිබෙන අයුරු දැක ඇත. ඉන් කලබලයට පත් වූ ඇය තවදුරටත් හෝටල් භූමිය පරීක්ෂා කිරීමේදී, හෝටලයේ පිහිටි කබානාවක් අසල තම සහෝදරයාගේ ගෙල කපා ඝාතනය කර දමා ඇති අයුරු දැක ඒ බව වහාම පොලිසියට දැනුම් දී තිබේ.




පොලිසිය පවසන ආකාරයට මෙම ඝාතනය ඉතා සාහසික ලෙස සිදුකර ඇති අතර, ව්‍යාපාරිකයාගේ ගෙල වෙන් වී යාමට ආසන්න වන තරමටම ගැඹුරට කැපී ගොස් තිබී ඇත.

මෙම ධනවත් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව කුමක්ද යන්න හෝ ඝාතකයින් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත. සිද්ධිය වාර්තා වූ වහාම ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.



මේ වන විට ත්‍රිකුණාමලය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්ප කුමාර සහ ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත, ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් මෙන්ම ත්‍රිකුණාමලය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් ද එක්ව ඝාතකයින් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.

gossiplanka image 2
gossiplanka image 3