the-story-of-the-police-arresting-people-who-call-themselves-vaskavi-is-fake

වත්මන් ආර්ථික, දේශපාලන සහ සමාජීය පසුබිම හමුවේ පාලකයන්ට එරෙහිව සිය අප්‍රසාදය පළ කිරීම සඳහා නිර්මාණය වූ ‘වස් කවි’ මේ දිනවල ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී. මෙම වස් කවි රැල්ලත් සමඟම, ඒවා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන පුද්ගලයන්ට නීතිය අනුව දඬුවම් කරන බවටත්, අදාළ වස් කවිය රචනා කළ චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වන්නට විය.




කෙසේ වෙතත්, මෙම පැතිර යන ආරංචිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් යූ. වූට්ලර් මහතා තහවුරු කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ වස් කවි ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට හෝ අදාළ කවි රචනා කළ පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ඔහු පැහැදිලි කළේය. එසේම, එවැනි පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් ද කිසිදු නිල වාර්තා කිරීමක් සිදු කර නොමැත.

වස් කවි සම්බන්ධයෙන් පොලිසිය මෙවැනි තීරණයක් ගෙන නොමැති වුවද, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරමින් නොසන්සුන්තාවයක් ඇති වන අයුරින් අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා අතර සිටි බලන්ගොඩ කස්සප හිමියන් පය ලිස්සා වැටී සිදු වූ අනතුරක්, පහරදීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේ බව පවසා තිබුණි.




මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම වස් කවිය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත්, එය රචනා කළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන තත්ත්වයකට පත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා 2026 ඔක්තෝබර් 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. එදිනම පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබීම හරහා මෙය සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් බව තවදුරටත් තහවුරු වේ.