the-story-behind-the-murder-of-big-pattys-younger-brother-little-patty

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ප්‍රබල අපරාධකරුවකු වන 'ලොකු පැටී' නමැත්තාගේ සහෝදරයා වූ 'පොඩි පැටී' නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී 8.10 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇත.




ප්‍රදේශයේ නවාතැන්පොළක පින්තාරු කිරීමේ රැකියාවක නිරතව සිටි අදාළ පුද්ගලයා, සිද්ධිය වූ දින සිය නිවසේදී තවත් මිතුරෙකු සමග මත්පැන් පානය කර තිබේ. පසුව එම මිතුරා පිටව ගොස් ඇති අතර, තවත් බීර බෝතලයක් රැගෙන යළිත් නිවසට පැමිණි ඔහු සිය බිරිඳට කතා කරනවාත් සමගම මෙම ප්‍රහාරය එල්ල වී ඇත. පාගමනින් පැමිණ ඇති වෙඩික්කරු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර, ඉන් අනතුරුව නිවස ආසන්නයේ වූ කැලෑබද ප්‍රදේශයක් හරහා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

කිසිදු අපරාධ චෝදනාවකට ලක්ව නොමැති මියගිය පුද්ගලයා, විවාහක කාන්තාවක සහ ඇයගේ හත් හැවිරිදි දැරියක සමග අදාළ නිවසේ ජීවත් වී තිබේ. ඇය දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'අහුංගල්ලේ මදුෂාන්' නැමැත්තාගේ සහෝදරියයි. කලක් ලොකු පැටීගේ කල්ලිය සමග සමීපව කටයුතු කළ මදුෂාන්, පසුව ඉන් ඉවත්ව විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධකරුවකු වන 'කොස්ගොඩ සුජී' සමග සම්බන්ධතා ගොඩනගාගෙන තිබේ. මේ හේතුවෙන් මදුෂාන්ගේ සහෝදරිය හා පොඩි පැටී අතර පැවති සම්බන්ධතාවයට ලොකු පැටී සහ ඔහුගේ අනෙක් සහෝදරයා වන 'අහුංගල්ලේ සංජීව' දැඩි ලෙස විරෝධය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.




කෙසේ වෙතත් මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් මෙහෙයවන්නට ඇති බවට පොලීසිය දැඩි ලෙස සැක පළ කරයි. මීට පෙරද, එනම් පසුගිය අප්‍රේල් 16 වනදා අහුංගල්ල ප්‍රදේශයේදී ටී-56 ගිනිඅවියකින් මොහුට වෙඩි තබා ඝාතනය කිරීමට කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය උත්සාහ කර තිබූ නමුත්, ඉන් ඔහු සිය දිවි බේරාගෙන තිබුණි. ඊට අමතරව කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන ලියනගමගේ ළහිරු හෙවත් 'ළහිරු දිල්ෂාන්'ගෙන්ද මොහුට අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබූ බව වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන කළු නෝනා ඇතුළු තිදෙනෙකු බද්දේගමදී ඝාතනයට ලක්වූ අතර, එහි චෝදනාව එල්ල වූයේ 'කරන්දෙණියේ සුද්දාගේ' පාර්ශ්වයටය. මෙම නවතම ඝාතන සිදුවීමෙන් පසු පොලීසිය අදාළ ප්‍රදේශය දැඩි සෝදිසියකට ලක් කළද වෙඩික්කරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් හමුවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් මගින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී.