
පැහැදිලි දැක්මක් සහ විධිමත් සංවිධාන ව්යුහයක් නොමැතිව, නොසන්සුන් මනසින් යුතුව ක්රියාත්මක වන දේශපාලන කණ්ඩායම් සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඊට ප්රතිවිරුද්ධව, නිශ්චිත දේශපාලනික දැක්මකින් යුත් විධිමත් සටන් ව්යාපාර රටේ ස්ථාවරත්වයට මෙන්ම ආණ්ඩුවට ද එකසේ හිතකර බව ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ අද (31) පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමිනි.
වර්තමාන සමාජය හමුවේ ප්රතිපාක්ෂික දේශපාලන කණ්ඩායම්වල හැසිරීම විග්රහ කළ අනුර කුමාර දිසානායක මහතා, සිය දේශපාලන සටන් ව්යාපාර විධිමත් මාවතකට අවතීර්ණ කරන ලෙස එම කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේය. හිටපු ගමන් මැටි රූප අඹන, තවත් විටෙක නයි හැරමිටි ගන්නා ආකාරයේ අවිධිමත් හා වියවුල් සහගත දේශපාලන ක්රියාමාර්ග මේ වන විටත් මහජනතාවගේ දැඩි හාස්යයට මෙන්ම පිළිකුලට ලක්ව ඇති බව ඔහු කියා සිටියේය.
හැබැයි අවිධිමත් දැක්මක් ඇති මනසින් නොසන්සුන් වියවුල් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිවුණු හිටපු ගමන් මැටි රූපයක් අඹන, තව තැනක නයි හැරමිටියක් ගන්න සටන් මොකක් කරයිද? සමාජ අරාජිකත්වයක් නිර්මාණය කරනවා. ඒනිසා අපි අවිධිමත් ලෙස දේශපාලනය කරන්න සූදානම් වෙලා ඉන්න අපේ ප්රතිපාර්ශවීය කණ්ඩායමට කියන්නේ ඔබේ සටන් විධිමත් කරන්න. ඔබේ සටන් දැක්මක් කරන්න ඒ්ක රටට හිතකරයි.
රට හමුවේ අද පවතින අභියෝගය වන්නේ මෙම නොසන්සුන් කණ්ඩායම්වලින් එල්ල වන ප්රකාශ සහ ක්රියාමාර්ගවල ගැබ්ව ඇති අවදානම බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. මොවුන් කුමන ආකාරයේ හැසිරීමක නිරත වනු ඇත්දැයි අනුමාන කළ නොහැකි බවත්, අනාගතයේදී ඔවුන් කුමන ආකාරයේ ක්රියාමාර්ග ගනු ඇත්දැයි කිව නොහැකි වීම තුළ යම් අනතුරක් පවතින බවත් ඔහු අවධාරණය කළේය. එම නිසා මෙම කණ්ඩායම්වල හැසිරීම් පිළිබඳව සමාජය වඩාත් විමසිලිමත්ව බැලිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විධිමත් දැක්මක් සහිත සටන් ව්යාපාරයක් ක්රියාත්මක වන විට රථවාහන තදබදයක් වැනි තත්ත්වයක් ඇතිවිය හැකි වුවද, අවසානයේදී එයින් සමාජය ස්ථාවරභාවයකට පත්වන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. එහෙත් වත්මන් ප්රතිපාක්ෂික කණ්ඩායම්වල අවිධිමත් ක්රියාකලාපය හුදෙක් සමාජයේ සිනහවට ලක්වන විගඩමක් පමණක් බවට පත්ව ඇති බව පැවසූ ඔහු, ඔවුන් පොදු සමාජයෙන් විතැන් වූ කුඩා කල්ලියක් බවට පත්වෙමින් තමන්ගේ විනාශය තමන් විසින්ම ළඟා කරගනිමින් සිටින බව වැඩිදුරටත් ප්රකාශ කළේය.