police-fire-on-three-wheeler---16-year-old-injured

කඩවත, ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය ආශ්‍රිතව අද (31) පස්වරුවේ පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කළ ත්‍රීරෝද රථයකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි ගමන් ගත් දහසය හැවිරිදි පාසල් වියේ පසුවන බාලවයස්කාර පිරිමි ළමයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.




පොලීසිය සඳහන් කරන පරිදි, මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මහකඩේ හන්දිය ප්‍රදේශයේ රථ වාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදීය.

එහෙත්, පොලිස් නිලධාරීන් ලබාදුන් එම නියෝගය නොතකා ත්‍රීරෝද රථය නොනවත්වාම ඉදිරියට ධාවනය කර පලා යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් අදාළ රථය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසයි.




මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථය තුළ සිටි 16 හැවිරිදි දරුවාගේ පිටුපස ප්‍රදේශයට වෙඩි උණ්ඩ දෙකක් එල්ල වී තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ අදාළ බාලවයස්කරු කඩිනමින් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සිද්ධියට අදාළව කඩවත පොලීසිය මඟින් මේ වන විට පුළුල් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.